මම වැඩිපුර හිතන්නේ නැතිවයි සංගීතේ භාර ගත්තේ - ප්‍රවීණ රංගන ශිල්පී ඩග්ලස් රණසිංහ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

මම වැඩිපුර හිතන්නේ නැතිවයි සංගීතේ භාර ගත්තේ - ප්‍රවීණ රංගන ශිල්පී ඩග්ලස් රණසිංහ (PHOTOS)

මම වැඩිපුර හිතන්නේ නැතිවයි සංගීතේ භාර ගත්තේ - ප්‍රවීණ රංගන ශිල්පී ඩග්ලස් රණසිංහ (PHOTOS)

ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකු ලෙස සිංහල සිනමාවේ සහ ටෙලි තිරයේ සිය දක්ෂතා දැක්වූ "රෝමියෝ කුමරු" ලෙස එකල තරුණ පිරිස් අතර නොමද ආකර්ෂණයක් ලද එදත් අදත් නොවෙනස් ජනප්‍රියත්වය රඳවා ගෙන සිටින ඔහු නමින් ඩග්ලස් රණසිංහ. උපතින්ම හිමි වූ රංගන කෞෂල්‍ය නිසා ඔහු රංගනය තෝරා ගනු ලබන්නේ සිය වෘත්තිය වන නීතිඥ වෘත්තියද අත්හරිමිනි. රංගනය වෙනුවෙන් එවැනි කැප කිරීමක් කළ ඔහු විවිධ අවස්ථාවල දී සම්මාන වලට ද පාත්‍ර විය. ඉතින් මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශනය වන සංගීතේහි සීයා ලෙසින් ප්‍රසිද්ධ මෙම සොඳුරු කලාකාමියාව අද හදගත්ම රස කරන්නට එකතු කරගන්නට අප සිතුවා.

 

මේ දවස් වල කොහොමද වැඩකටයුතු ?

 

මේ දිනවල සංගීතේ ටෙලි නාට්‍යයේ වැඩකටයුතු කරගෙන යනවා. ඒ වගේම පසුගිය දවස්වල ටෙලි ෆිල්ම් කිහිපයක් කළා සහ රූපවාහිනිය ටෙලි ෆිල්ම් එකක් සිදුකළා. ඊට අමතරව 'රන් පෝරුව' කියලා ටෙලි නාට්‍යයක් ආරම්භ කරන්න දිනත් නියම කරගෙන තිබියදී ජල ගැල්මක් නිසා එය මදකට නතර කරන්නට සිදු වුණා. ඒ වැඩ කටයුතු තමයි මේ දිනවල සිදුකරමින් පවතින්නේ.

 

 

ඔබ සංගීතය ටෙලිනාට්‍ය වැඩ කටයුතු වලින් මදක් ඉවත් වී සිටියා නේද ?

 

මම නැවත සංගීතය ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු ආරම්භ කළා සංගීතය කණ්ඩායම අපිට පොඩි විරාමයක් ලබා දීල තිබුණා ඒ කාලයේ තමයි ප්‍රේක්ෂකයන්ට මාව දකින්න නොලැබුණේ නමුත් ඒ කාලයේ බොහෝ දෙනෙකු ඇහුවා ඇයි නැත්තෙ නැවත එන්නේ නැද්ද කියලා ඒ නිසාම තමයි මම නැවත සංගීතේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ.

 

ඩග්ලස් රණසිංහ නැවත අධ්‍යක්ෂණයෙන් අපට දකින්නට හැකි වේවිද ?

 

දැන් මට තිබෙන ගැටලුව වෙනම දෙයක්. මම මහන්සිවෙලා කැපවීමෙන් යම්කිසි අධ්‍යක්ෂණයක් සිදුකළත් එය චැනලයක ප්‍රචාරය කර ගන්න අපහසුයි. දැන් අලුතෙන් ටෙලිනාට්‍යයක් එන්න බැරි තත්ත්වයට තමයි නාලිකා හැඩගැහිලා තිබෙන්නේ. සති අන්තයට විකාශනය වන කොටස් 15ක පමණ ටෙලි නාට්‍ය සංකල්පය ඉතාමත් හොඳයි. මම එවැනි අධ්‍යක්ෂණයකට සූදානම් වෙමින් සිටිනවා.

 

 

කොහොමද තරුණ රංගන ශිල්පීන් සමග වැඩ කටයුතු කරන අත්දැකීම ඔබට දැනෙන්නේ ?

 

එය හරිම සන්තෝසයි. විනෝදයි. ගීත්මා ගත්තත් ගීත්මාගේ රංගනය දැන් මුල් කාලයට වඩා සෑහෙන්න දියුණුයි. එයාගෙ රංගනය අධ්‍යක්ෂවරයා ඇරුණම බලන් හිටපු එකම පුද්ගලයා මම වෙන්න ඇති. ඒ තරම් ඇයගේ රංගන දියුණුවක් තිබෙනවා. ඒ වගේම හංසිනි ගායිකාවක් කියලා මම මෑතකදී දන්නේ. එසේ සිතන්නට බැරි විදිහට ඇයත් අපූරුවට රඟපානවා. මගේ විශ්වාසය නළු නිළියන් රඟපාන විට අනෙක් කෙනාගේ මට්ටමට ආවේ නැතිනම් රඟපාන්න අමාරුයි. ඒ නිසා මම හැම විටම උත්සාහ කරන්නේ මම සමඟ රඟපාන අනෙක් පුද්ගලයා මගේ මට්ටමට ගන්න. නැත්නම් අපිටත් රඟපාන්න අමාරුයි.

 

මෙගා රැල්ලේ ටෙලිනාට්‍යයක් තෝරා ගැනීමට ඔබට විශේෂ හේතුවක් තියෙනවද ?

 

එය මම මෙගාද නැද්ද කියලා හිතා මතා තෝරාගත් ටෙලි නාට්‍යයක් නෙවෙයි. මම සාරංග මෙන්ඩිස් එක්ක වැඩ කරලා තිබෙනවා. සාරංග මට මේ ටෙලිනාට්‍යයටත් ආරාධනා කළා. මම ඒ පිළිබඳව වැඩිදුර හිතන්නේ නැතිව ටෙලිනාට්‍ය බාරගත්තා. එය ඉතින් මෙගා එකක් බවට දැන් පත් වෙලා තිබෙනවා. මෙගා වල හොද නරක දෙපැත්තක් තියෙනවා. නරක කියන්නේ වැඩි කාලයක් ගත වෙනවා. එතකොට අලුත් ටෙලි නාට්‍යයක් විකාශය කරගන්න තව කාලයක් ගත වෙනවා. ඔය දේ තමා තිබෙන ප්‍රධානම ගැටලුව. නමුත් අපේ මෙගා නාට්‍ය රැල්ල ඉන්දියාව තරම් පහතට වැටිලා නෑ කියන්න සතුටුයි.

 

 

වර්තමානයේ සිදු කරන බොහෝ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට වල නිශ්චිත තිරපිටපතක් නැහැ. ඒ පිළිබඳ ඔබේ අදහස මොකක්ද ?

 

එම ගැටලුව නිසා ටෙලි නාට්‍යයට හෝ එහි රංගනයෙන් දායකත්වය ලබාදෙන රංගන ශිල්පීන්ටත් විශාල පසුබෑමකට ලක්වෙන්න සිදුවෙනවා. එය බොහොම වැරදි දෙයක්. නාට්‍ය කෙටි වුවත්, දිග වුවත්, මගා වුවත් මුල මැද අගක් තිබෙන්නට අවශ්‍යයි.

 

කලාකරුවෙක් ලෙස ඔබෙන් වියයුතු සමාජයීය වගකීම පිළිබඳ ඔබ තෘප්තිමත්ද ?

 

ආපු ගමන දිහා නැවත හැරිලා බලන විට මම කලක් ඒ පිළිබඳව අමතක කරලා පොඩි තෘප්තිමත්භාවයකින් හිටියා. මගේ ඒ තෘප්තිය ගොඩක් අඩුයි. නමුත් ඒ තෘප්තිය මගේ රඟපෑම පිළිබඳ නෙවෙයි. රඟපෑම පිළිබඳ මම උපරිම තෘප්තිමත්. නමුත් ජ්‍යෙෂ්ඨයෙක් විදියට මම අතින් කෙරෙන්න තිබුණ දේවල් මට කරන්න බැරුව ගියා. උදාහරණයක් විදියට නළු නිළි හවුළේ මම වසර දහයකට අධික කාලයක් උප සභාපති වෙලා හිටියා. ඒ කාලය තුළ මම අදහස් කලා ලන්ඩන් ඉන්න කාලේ මම ලබපු අත්දැකීම්, අධ්‍යාපනය ඇසුරෙන් අපේ සංවිධානයට මූලස්ථානයක් පිහිටුවන්න. එම මූලස්ථානයට රැස්වීම් ශාලාවක්, අපි සිනමාවට සම්බන්ධ නිසා ප්‍රදර්ශනාගාරයක්, පැමිණෙන අයට නවාතැන් පහසුකම් ලබාදීමට හැකි ස්ථාන, වැනි දේවලුත් එම මූලස්ථානයට ඇතුළත් කරන්න මම බලාපොරොත්තු වුණා. නමුත් මම සමග සිටි කණ්ඩායමේ පිරිස ගේ නිෂ්ප්‍රභ චේතනා නිසා මට එය කර ගැනීමට නොහැකි වුණා. අන්න ඒ නිසයි මම කිව්වේ මට තෘප්තිමත් වෙන්න බැහැ කියලා. මට දෙයක් කරන්න තිබුණු අවස්ථාව ගිලිහිලා ගියා. ඒ පිළිබඳව මට තිබෙන්නේ කළකිරීමක්.

 

 

රැල්ලට බිහිවන නිර්මාණ වල පැවැත්මක් තිබෙනවා කියලා ඔබ විශ්වාස කරනවාද ?

 

මෙහෙමයි, හරි දැනුමක් තිබෙන කෙනෙක් රැල්ලකට යට වෙන්නේ නැහැ. නමුත් තමන් කරන දේ රැල්ලට යන්න පුළුවන්. සමහර අය කෙනෙක් කරන දේ බලාගෙන මමත් මෙහෙම එකක් කරනවා කියලා කරන්න පුළුවන්. තමන් නෙවෙයි විය යුත්තේ, මූලික විය යුත්තේ තේමාව. ඒ නිසා දෙයක් කරන විට බොහොම ප්‍රවේශමෙන් සැලසුම් කරලා සිදුකල යුතුයි.

 

 

 

 

 

 

Sahini Basnayake

views

2354 Views

Comments

arrow-up