ඉන්දු - පාකිස්ථාන් අර්බුදය උත්සන්න වෙයි - සියලු‍ වෙළෙඳ සබඳතා වහාම අත්හිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
25

ඉන්දු - පාකිස්ථාන් අර්බුදය උත්සන්න වෙයි - සියලු‍ වෙළෙඳ සබඳතා වහාම අත්හිටුවයි

ඉන්දු - පාකිස්ථාන් අර්බුදය උත්සන්න වෙයි - සියලු‍ වෙළෙඳ සබඳතා වහාම අත්හිටුවයි

ඉන්දීය පාලනය යටතේ පවතින ජම්මු හා කාශ්මීර් ප්‍රාන්ත කලාපයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් ඉන්දියාවේ සිටින දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානය හෙවත් සාක් සංවිධානයට අයත් රටවල වැසියන්ට ලබා දෙන වීසා රහිතව ගමන් කිරීමේ පහසුකම මත රැඳී සිටින සියලුම පාකිස්තාන ජාතිකයන්ට ලබන 27 වැනිදා වන විට ඉන්දියාවෙන් පිටවන ලෙස ඉන්දීය රජය විසින් නියෝග කර තිබේ.

 

 

මේ අනුව සිය වීසා බලපත්‍ර කල් ඉකුත් වන දිනයට පෙර ඉන්දියාවෙන් පිටවන ලෙස සියලු පාකිස්තාන ජාතිකයන්ට නියෝග කර තිබේ. කෙසේ වුවද වෛද්‍ය හේතුන් මත වීසා බලපත්‍ර නිකුත් කර ඇති පාකිස්තාන ජාතිකයන් හට ඉන්දියාවෙන් පිටව යෑම සඳහා අප්‍රේල් 29 වැනිදා තෙක් කල් ලබා දීමට ද ඉන්දීය රජය පියවර ගෙන තිබේ. මෙයට අමතරව ඉන්දියාව හා පාකිස්තානය අතර ක්‍රියාත්මක වූ ජලය හුවමාරු කරගැනීමේ ගිවිසුම අත්හිටුවීමට ද ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

 

 

මේ අතර ඉන්දීය රජය විසින් එරට රැඳී සිටින පාකිස්තාන ජාතිකයන්ට එරෙහිව ගෙන තිබෙන පියවරයන්ට එරෙහිව එකට එක කිරීමක් වශයෙන් පාකිස්තානය ද සාක් කලාපීය රටවල වැසියන් සඳහා ලබා දී ඇති වීසා රහිතව ගමන් කිරීමේ පහසුකම සහිතව පාකිස්තානයේ රැඳී සිටින සියලු ඉන්දීය ජාතිකයන්ට නිකුත් කර ඇති එම වීසා බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමටත් පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර සිටින ඉන්දීය තානාපති නිලධාරීන්ගේ සංඛ්‍යාව 30කට සීමා කිරීමටත් පියවර ගෙන තිබේ.

 

 

ඊයේ (24) රැස්ව ඇති පාකිස්තාන ජාතික ආරක්ෂක කමිටුව විසින් නිවේදනය කර ඇත්තේ පාකිස්තානයේ සිටින ඉන්දීය ආරක්ෂක, නාවුක හා ගුවන් හමුදා උපදේශකයන් සියලු දෙනා මෙම මස 30 වැනිදා වන විට පාකිස්තානයෙන් පිටව යා යුතු බවයි. පාකිස්තාන ගුවන් කලාපය ඉන්දීය ගුවන් යානා හා එරට සිට ක්‍රියාත්මක වන ගුවන් යානා සඳහා තහනම් කර ඇති බවත් ඉන්දියාව සමග පවත්වන සියලු වෙළෙඳ සබඳතා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවත් පාකිස්තාන ජාතික ආරක්ෂක කමිටුව විසින් ප්‍රකාශ කර තිබේ.

views

102 Views

Comments

arrow-up