වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මියගිය නිමේෂ්ගේ සිරුර දින 21කට පසු නැවත ගොඩ ගැනේ

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මරණයට පත්වූ බව කියන මීගහකිවුලේ නිමේෂ් සත්සර (25) තරුණයාගේ මළ සිරුර භූමදානයෙන් දින 21කට පසුව ඊයේ (23) පෙරවරුවේ බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා ඉදිරියේ ගොඩගනු ලැබීය.
මෙම අවස්ථාවට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් සහ කරාපිටිය සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය නිලධාරීහු පිරිසක් ද බදුල්ල පොලිස් අපරාධ කොට්ටාශයේ හා කන්දකැටිය පොලිසියේ නිලධාරීහු ද රහස් පොලිසියේ නිලධාරීහු ද එක්ව සිටියහ.
නිමේෂ් සත්සර (25) තරුණයාගේ මළ සිරුර මෙලෙස ගොඩගනු ලැබුවේ මියගිය නිමේෂ් සත්සර තරුණයාගේ මව වන ලේකම් වසම් ලියනගේ සමන්ති මහත්මිය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ඉකුත් 09 වැනිදා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා දුන් නියෝගයකට අනුවය.
තම දරුවා ඉකුත් අප්‍රේල් මස 01 වැනිදා වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් භාරයේ සිටියදී වධ හිංසාවලට ලක්ව මිය ගොස් ඇති බවට තරුණයාගේ මව වන ලේකම් වසම් ලියනගේ සමන්ති මහත්මිය විසින් රහස් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත රහස් පොලිසිය කරන ලද විමර්ශනය කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කර ඇත.
පොලිස් ප්‍රහාරෙන් මිය ගිය බව කියන නිමේෂ්ට යුක්තිය ඉටු කරන්නැයි ඉල්ලා මීගහකිවුල නගරයේ මෙන්ම කොළඹ ප්‍රදේශ කිහිපයක ද පසුගිය දිනවල උද්ඝෝෂණ හා නිහඬ විරෝධතා පැවැත්විණි.
ඊයේ ගොඩ ගත් සිරුර කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත රැගෙන යන ලදී. ඒ අනුව ඉදිරි පරීක්‍ෂණ සිදුකෙරේ.
63 Views
Comments