කාන්තාවකට පහරදුන් මුසම්මිල්ගේ පුත්‍රයා පොලිසියේ ඇස් වසා සැඟවෙයි

ඌව පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් මහතාගේ පුත්‍රයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ වැල්ලවත්ත පොලීසිය වෙත ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන සිදුකරන බවය.
අදාළ පුත්‍රයා විසින් වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවාසයකදී කාන්තාවකට පහරදීමෙන් එම කාන්තාව රෝහල්ගතකර ඇති බවට එම පැමිණිල්ලේ දැක්වෙයි.
මේ අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු විසින් වරද සිදුකිරීම සඳහා ඔහු ගමන්කළ බවට සැක රථය සහ ඔහුගේ ජංගම දුරකථනය දකුණු පළාතේ ස්ථානයක තබා පොලීසිය නොමග යවා ඇති බවද එම නිවේදනයෙන් පොලීසිය වැඩිදුරටත් පවසයි.
එසේම එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් මහතාගේ පුත්‍රයා මේ වනවිට වෙනත් ප්‍රදේශයක සැඟව සිටින බවට සැකපළ කරන බවය.
කෙසේ වෙතත් එලෙස දකුණු පළාතේ තිබියදී සොයාගත් එම රථය සහ ජංගම දුරකථනය විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.
එසේම ඔහු පොලීසියට භාරවන බවට සැකකරු හෝ සැකකරුගේ පියා වන ආණ්ඩුකාරවරයා විසින් කිසිදු අවස්ථාවක පොලීසිය වෙත දැනුම්දී නොමැති බවද අදාළ නිවේදනයේ දැක්වෙයි.
ඌව පළාත් ආණ්ඩුකාරවරයා විසින් සිදුකර ඇති මාධ්‍ය ඔස්සේ පළවූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නිවැරදි තත්ත්වය පැහැදිළි කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් එම නිවේදනය නිකුත් කර තිබේ.
213 Views
Comments