හලාවත අභිරහස විසඳෙයි - මරණ පරීක්ෂණයේදී හෙළිවූ දේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
21

හලාවත අභිරහස විසඳෙයි - මරණ පරීක්ෂණයේදී හෙළිවූ දේ මෙන්න

හලාවත අභිරහස විසඳෙයි - මරණ පරීක්ෂණයේදී හෙළිවූ දේ මෙන්න

හලාවත සිංහපුර ප්‍රදේශයේ ගිනිගත් දෙමහල් නිවසකින් හමුවූ මරණ සම්බන්ධයෙන් අද (21) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළේය. 

 

එහිදී අනාවරණය වුයේ මියගිය කාන්තාවගේ සහ දියණියගේ ගෙල කපා ඝාතනය සිදුකර පසුව සිරුරු ගිනි තබා ඇති බවය.

 

හලාවත මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අයි.එම්. ඉලංගරත්න බණ්ඩා මහතා විසින් මිය ගිය කාන්තාවගේගේ සහ දියණියගේ සිරුරු පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද දහවල්  සිදුකරනු ලැබුවේ හලාවත මහ රෝහලේ මෘත ශරීරාගාරයේ දී ය.

 

මිය ගොස් ඇත්තේ හලාවත - සිංහපුර පදිංචිව සිටි ශමිනිදුලාගේ ගෙදර සේනාරත්න 51 හැවිරිදි පියා, මුහන්දිරම්ලාගේ මංජුලා නිරෝෂණී බණ්ඩාර 44 හැවිරිදි මව සහ ශමිනිදුලාගේ ගෙදර නෙත්මි නිමේෂා නැමති 15 හැවිරිදි දැරියකි.

 

මිය ගිය සේනාරත්න යන අය ඉඩම් කට්ටිකර අලවි කිරීමේ ව්‍යාපාරයක නිරත වී ඇත. මංජුලා නිරෝෂණී හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන නිලධාරීනිය ලෙස මුන්නේෂ්වරම කොට්ඨාසය භාරව රාජකාරි කටයුතු කර ඇත.  

 

නෙත්මි නිමේෂා දියණිය හලාවත ආනන්ද ජාතික පාසලේ 10 වන වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටියාය.

 

නිවසක් ගිනි ගන්නා බවට වන තොරතුක් ඊයේ (20) අලුයම හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකට ලැබී තිබුණි.

 

ඒ අනුව ක්‍රියාත්මක වී ඇති ගිනි නිවන ඒකකයේ සේවකයින් වහාම අදාළ ස්ථානයට ගොස් තිබූ අතර, ඒ වන විටත් දෙමහල් නිවසේ පහත මහල ගිනි ගනිමින් තිබී ඇත.

 

නිවසේ සියලූම දොරගුරු වසා තිබී ඇති අතර, ගේට්ටුවටද ඉබි යතුරු දමා තිබී ඇති අතර, නිවස තුළ කිසිවෙකු සිටින බවට කිසිදු තොරතුක් පිටතින් ඔවුන්ට දක්නට ලැබී තිබුණේ නැත.

 

ගිනි නිවන ඒකකයේ සේවකයින් සහ අසල්වාසීන් නිවසේ දොරගුරු කඩා ගින්න නිවා දැමීමට කටයුතු කර තිබු අතර  ගින්න නිවා දැමීමෙන් පසුව ඔවුන් දැක ඇත්තේ කාමරයක් තුළ සහ නිවසේ ආලින්දයේ පිළිස්සුණු මළ සිරුර 03ක් තිබෙන බවය.

 

සිද්ධිය පොලීසියට දැණුවත් කිරීමෙන් අනතුරුව විමර්ශන කටයුතු සිදුකළේය.

 

එහිදී අනාවරණය වී ඇත්තේ මිය ගොස් ඇත්තේ එකම පවුලක අඹු - සැමියන් සහ දියණියක බවය.

 

පසුව හලාවත අතිරේක දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් සසිත ද සිල්වා මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර තිබේ.

 

හලාවත මහා රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද පැමිණ නිරීක්ෂණ කටයුතු සිදුකළේය.

 

අනතුරුව මිය ගොස් ඇති අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා හලාවත මහා රෝහල වෙත රැගෙන යන ලදී.

 

මිය ගොස් ඇති මංජුලා නිරෝෂණී යන අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය මුලින්ම සිදුකර ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ ඇයගේ ගෙලට තියුණු ආයුධයකින් පහර 06ක් එල්ල වී ඇති බවය. බොහෝ විට ඇය මරණයට පත් වී ඇත්තේ 18 වැනිදා රාත්‍රීයේ විය හැකි බවද විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාගේ මතය වී ඇත. අධික ලේ වහනය හේතුවෙන් මරණය සිදු වී ඇති බවත්, සිරුර ගිනි තබා ඇත්තේ පසුදින බවද විශේෂඥ වෛද්‍යවරයාගේ මතය වී ඇත.

 

දියණිය වන නෙත්මි නිමේෂාගේ ගෙලෙහි කැපුම් තුවාල 02ක් දක්නට ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් නිරීක්ෂණය කර ඇති අතර, ඇය ඝාතනය කර ඇත්තේ 19 වැනිදා රාත්‍රීයේදී බවද වෛද්‍ය මතය වී ඇත. 

 

මේ අතර මියගිය එස්.ජී. සේනාරත්න යන අයගේ පශ්චාත් මරණ පරීක්ෂය පැවැත්වූ හලාවත මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා, එම මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.

 

මිය ගොස් ඇති සේනාරත්න යන අය ඉඩම් කට්ටි කර අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත වූ නමුත් බොහෝ දෙනෙකුගෙන් ඔහු ණයට මුදල් ලබා ගෙන තිබී ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

 

මේ නිසාම තම බිරිඳ වන මංජුලා නිරෝෂණීට අයත් හලාවත - කුරුණෑගල පාරේ කොක්කාවිල ප්‍රදේශයේ ඇති අක්කර 05ක ඉඩමක් කට්ටි කර අලෙවි කිරීමටද ඔහු බිරිඳගෙන් ඉල්ලා ඇති බව පොලීසිය අනාවරණය කර ගෙන ඇත. නමුත් බිරිද එම යෝජනාවට කැමැත්ත පළ කර නැත.

 

මෙම නිවසේ තිබූ රුපියල් ලක්ෂ 2‍5ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් අස්ථාන ගත වීමක්ද මීට මාස 02කට පමණ පෙර සිදුවී ඇති අතර පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ පිටස්තර කිසිවෙකු නිවසට ඇතුළු වී නොමැති බවය.

 

එමෙන්ම ස්වර්ණාභරණ නිවස තුළ තිබී ඇත්තේ කිසිදු ආරක්ෂාවක් නොමැතිව බවද එහිදී අනාවරණය වී ඇත.

 

මෙම සිදුවීම් දෙක හේතුවෙන් අඹු -සැමියන් අතර නිතර ආරවුල් තිබී ඇති බවද පොලීසිය පවසයි.

 

නමුත් මෙම නිවැසියන් අසල්වැසියන් සමඟ කිසිදු සම්බන්ධතාවයක් පවත්වා නැත. එම හේතුවෙන් නිවස තුළ සිදුවී ඇති බොහෝ තොරතුරු සොයා ගැනීමට නොහැකි වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

 

තම බිරිඳව සහ දියණියව ඝාතනය කර ඇති නිවසේ හිමිකරු පසුව ඔවුන්ගේ සිරුරවලට ගිනි තබා තමන්ද සියදිවි හානි කර ගන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය සැක පළ කරයි.

views

207 Views

Comments

arrow-up