මැතිවරණය අවසන් වූ වහාම රැකියා ලක්ෂයක් ලබා දෙනවා - අගමැති
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

මැතිවරණය අවසන් වූ වහාම රැකියා ලක්ෂයක් ලබා දෙනවා - අගමැති

මැතිවරණය අවසන් වූ වහාම රැකියා ලක්ෂයක් ලබා දෙනවා   -  අගමැති

මෙවර මහා මැතිවරණය අවසන් වූ වහාම රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

ත්‍රිකුණාමලය සේරුවාවිල ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස්වලට අනුව රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළ තාවකාලිකව අත්හිටවුව ද එය මැතිවරණයෙන් පසුව වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.

 

පසුගිය රජය සමයේ එජාපය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පසුගිය රජය ” මොනවද කළේ ” යන්න ප්‍රශ්න කිරීමට අද ජනතාවට සිදුව ඇති බවයි.

 

ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට අනුව ජාති භේදයෙන් තොරව රට ගොඩනැඟීම සඳහාත්, සංවර්ධනය කිරීම සඳහාත්, කැපවෙන පිරිසක් වර්තමානයේදී රටට අත්‍යාවශ්‍යව තිබේ.

 

ඉදිරියේදී පිහිටුවන පොදුජන පෙරමුණු රජයකදී කෘෂිකර්මාන්තයට වැඩි අවධානයක් යොමු කරමින් නවීන තාක්ෂණික ක්‍රම හඳුන්වා දෙමින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කොට තිබේ.

 

ගොවි විශ්‍රාම වැටුප සහ ගොවි රක්ෂණාවරණය තව දුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරෙයි.

 

මීට අමතරව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය යනු ලංකාවටම අවශ්‍ය වන කිරි ප්‍රමාණයෙන් සියයට 70ක් 80ක් පමණ සැපයිය හැකි දිස්ත්‍රික්කයක් බව තමාගේ විශ්වාසය බවත්, කිරි නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා නවීන තාක්ෂණික ක්‍රම හඳුන්වා දීමටත්, හරකුන්ට අවශ්‍ය තණබිම් වෙන් කිරීමට පියවර ගන්නා බවත්, අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

 

කන්තලේ සීනි කර්මාන්ත කර්මාන්තශාලාව සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව සඳහා කඩිනමින් නව ආයෝජනයක් ගෙන ඒමට කටයුතු කරන අතර, එසේ නොමැති වුවහොත් රජයේ මැදිහත් වීමෙන් හෝ එය පවත්වාගෙන යාමට පියවර ගන්නා බවයි.

 

views

751 Views

Comments

arrow-up