වසන්ත 8වන පිම්මට සූදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

වසන්ත 8වන පිම්මට සූදානම්

වසන්ත 8වන පිම්මට සූදානම්

එක්සත් ජාතික පක්ෂයේ රඹුක්කන ආසන සංවිධායක ධුරයෙන් සහ සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයෙන් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ඉවත්වෙයි.

ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන් දැඩි කනගාටුවටත් සිත් තැවුලටත් පත්ව ඇති බවත් තමන්ට ඇති ප්‍රශ්නවලට සතුටුදායක පිළිතුරක් ලබා නොදුණහොත් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවත් දන්වමින් සජිත් ප්‍රේමදාස මහතාට ද ලිපියක් යැවූ බව ඔහු සඳහන් කරනවා.

 

කොළඹ, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ පිහිටි සිය කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සේනානායක මහතා ඒ බව ප්‍රකාශ කළා.

 

සජිත් ප්‍රේමදාස මහතාට අවලාද නැගූ, ඔහුට දෝෂාරෝපණය කළ, සජිත් ප්‍රේමදාස මහතාගේ මාපියන්ට චෝදනා කළ, සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළහොත් පක්ෂයෙන් ඉවත් වන බවට තර්ජනය කළ සියලු දෙනා මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ පෙරමුණ ගෙන ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට හඬ නැගූ සහ අරගල කළ පිරිස් පසුපසට තල්ලු වී ඇති බවත් වසන්ත සේනානායක මහතා පවසනවා.

 

ඊට අමතරව සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්වූ පසු රනිල් වික්‍රමසිංහ නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන්නේ ද? රවී කරුණානායක මහතා යම් අන්දමකින් පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් හෝ පාර්ලිමේන්තුවට නම් කරනු ලැබුවහොත් හෝ ඔහු කැබිනට් අමාත්‍ය ධුරයක් දරන්නේ ද? සජිත් ප්‍රේමදාස මහතා යටතේ රිෂාඩ් බදියුදීන් මහතා කැබිනට් අමාත්‍ය ධුරයක් හොබවන්නේ ද? පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ අන්තවාදී කොටස් සමඟ සබඳතා පැවැත්වූ බවට තොරතුරු වාර්තා වන මොහොතක රවුෆ් හකීම් මහතා ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ වැදගත් භූමිකාවක් ඉටු කරන්නේ ද සහ ඉන් පසුත් ඔහු රැඳී සිටින්නේ ද? යන ප්‍රශ්නවලට සජිත් ප්‍රේමදාස මහතා පිළිතුරු දිය යුතු යැයි ද වසන්ත සේනානායක මහතා කියා සිටියා.

 

ජනාධිපති ධුරයට පත්වූ පසුව පෙර සිටි දූෂිතයන්, හොරුන්, මහ බැංකු කොල්ලකරුවන්, අකාර්යක්ෂම වයෝවෘද්ධ පිරිස් නැවතත් අමාත්‍ය ධුරවලට සහ තනතුරුවලට පත් කරන්නේ ද යන ප්‍රශ්නයට ද සජිත් ප්‍රේමදාස පිළිතුරු දිය යුතු බව ද වසන්ත සේනානායක මහතා කීය.

views

777 Views

Comments

arrow-up