ශ්‍රී ලංකාවේ පහළොස්වන ජන සංගණනය ලබන වසරේදී

සෑම රටක්ම වරින් වර ජන සංගණනයන් සිදුකරනු ලබනවා. මෑතකදී චීනය ලොව විශාලතම ජන සංගණනය පැවැත්වූ අතර ලංකාව සිය පහළොස්වන ජන සංගණනය 2021 වසරේ පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් තිබෙනවා. මෙරට ඉතිහාසයේ පැවති පළමු ජන සංගණනයෙන් වසර 150 කට පසුව පැවැත්වෙන මෙම සංගණනය තරමක් සුවිශේෂීය. ඒ අනුව ග්‍රම නිලධාරී කොට්ඨාස පදනම් කොටගෙන සිතියම් සකස් කිරීම අදාළ සීමා සම්බන්ධව ගැටලු නිරාකරණය ප්‍රධානය. එසේම එම කොට්ඨාස බෙදා සංගණන ඒකක පිහිටුවීමද සිදුවෙමින් තිබේ. මෙම සියලු තාක්ෂණික කටයුතු ඇත්තේ අවසන් අදියරේය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වන්නේ ලැයිස්තු ගතකිරීම නම් අදියරයි. සංගණනයකදී ලබාගන්නා මූලික තොරතුරුවලට අමතරව තවත් වැදගත් තොරතුරු මෙවර සංගණනයේ එකතු කරගැනීමේ බලාපොරොත්තුවක් තිබේ. ඊට හේතුව ඇත්තේ රජයේ විවිධ ආයතන වලින් පැමිණෙන තොරතුරු ඉල්ලීම්ය.
ලැයිස්තු ගත කිරීමේ අදියරේදී සෑම ගොඩනැගිල්ලක්ම ලැයිස්තු ගතකිරීම සිදුවේ. සංගණනයට පෙර නිවාස ගොඩනැගිලි ඉදිරිපිට අංකයක් සහිත ස්ටිකරයක් ඇලවීම සිදුවන්නේ මෙම අදියරේදීය. ඉන්පසුව පොදුවේ සංගණනයේ තොරතුරු රැස් කිරීමේ වටය ආරම්භ වෙයි. එකින් එක නිවාස ගොඩනැගිලි ආදියට ගොස් එක් එක් පුද්ගලයාගේ තොරතුරු සංගණන නිලධාරීන් විසින් එකතු කරනු ලබන්නේ මෙම වටයේදීය. එළඹෙන වසරේදී මෙම කටයුත්ත සිදුකිරීමට බලාපොරොත්තු වෙයි.
මෙවර සංගණනයේදී සිදුවන සුවිශේෂී වෙනස්කම නවීන තාක්ෂණය භාවිතා කිරීමයි. ඒ අනුව තොරතුරු ලබාගැනීම සඳහා ටැබ් පරිගණක භාවිතා කිරීමට සූදානමක් තිබේ. ඉහත අවස්ථාවන් හී දී උපලේඛන භාවිතා කිරීමෙන් සිදුවූ තොරතුරු රැස්කිරීම මෙවර ඉතා පහසුවනු ඇත. උපලේඛන ස්කෑන් කරමින් සිදුකළ ඉතා වෙහෙසකර පරිගණක දත්ත ඇතුළත් කිරීමේ ක්‍රියාවලියෙන් (Data Entry) මිදීමටද මෙවර හැකියාවක් ලැබේ. ඒ අනුව කාලය ශ්‍රමය අවම කරගනිමින් ඉතා ගුණාත්මක තොරතුරු රැස් කිරීමක් මෙවර සිදුවෙයි.
ජන සංගණනයක් සිදුවන්නේ වසර දහයකට වරක් නිසාවෙන් එය රටේ සංවර්ධනය ක්‍රියාවලියට තීරණාත්මක බලපායි. එම නිසාම මෙවර නවීන තාක්ෂණය මත තොරතුරු වසරින් වසර යාවත්කාලීන කෙරෙන නිවැරුදි ක්‍රමවේදයක්ද සකස් කිරීමට මෙවර බලාපොරොත්තුක් තිබේ. වෙනත් රටවල මේ වනවිටත් වාර්ෂිකව තොරතුරු නිකුත් කිරීම ආරම්භ කර ඇත. උපතේ ලබාදෙන අංකයක් භාවිතයෙන් පුද්ගල තොරතුරු යාවත්කාලීන කිරීම ඔවුන් විසින් සිදුකරයි. ඒ අනුව ඔවුන් වසරේ එක දිනකදී ජනගහනය තොරතුරු වාර්තාවක් ලබාදීමට සමත්කම් දක්වයි. කෙසේ වෙතත් නව තාක්ෂණය භාවිතා කරමින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලංකාවේ ජන සංගණනය රටේ ඉදිරි කටයුතු මෙහෙයවීම සඳහා වැදගත් තොරතුරු රාශියක් සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ.
by Dilki Shamani
Photo source : Internet
706 Views
Comments