ශ්‍රී ලංකාවට කොවිඩ්-19 එන්නත ලබා ගැනීමට එක්සත් ජාතීන්ගේ සහාය!

ශ්‍රී ලංකාවට කොවිඩ්-19 එන්නත සැපයීමට සහ ජනතාවට එන්නත් ලබා දීමේ කටයුතු පරිපාලනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය ලබා දෙන බවට එහි නියෝජිත පිරිසක් අද (22) අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවැති විශේෂ හමුවක දී සහතික විය.
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිගර්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්ඩ්සේ සහ යුනිසෙෆ් නියෝජිත ටිම් සුටන් යන මහත්ම මහත්මීහු මෙම හමුවට එක්ව සිටියහ.
රටවල් කිහිපයක් කොවිඩ්-19 එන්නත තම රට වැසියන්ට ලබාදීම ආරම්භ කර ඇති අතර ශ්‍රී ලංකාවට මෙම එන්නත ලබා දීම සම්බන්ධයෙන් සහතික විය හැකි බව මා සමඟ පැවැති මෙම සාකච්ඡාවේ දී එක්සත් ජාතින්ගේ නියෝජිතයෝ විශ්වාසය පළ කළහ.
මෙම අභියෝගාත්මක කාලයේ දී ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට පූර්ණ වශයෙන් කැපවී සිටින බව සිගර් මහත්මිය පැවසුවා ය.
එන්නත් තොග රටට ලැබුණු වහා ම ජනතාවට ලබා දීමට සහ අදාළ කටයුත්ත පරිපාලනය කිරීමට ශ්‍රී ලංකාව සතුව ඇති සැලසුම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සහ රජයේ නියෝජිතයන් අතර මෙහි දී එකඟතාවක් ඇති විය.
බොහෝ රටවල කොවිඩ්-19 හි භයානක දෙවන රැල්ලක් දක්නට ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා වසංගතය අවසන් කළ හැකි එක ම පියවර එන්නත් ලබාදීම බව පෙනෙන්නට ඇතැයි ද කියා සිටියා.
මෙම වසරේ අප්‍රේල් මාසයේ දී කොවිඩ්-19 ප්‍රවේශය වෙනුවෙන් “ACT-Accelerator” නමින් ගෝලීය සහයෝගීතාවක් ඇති විය.
COVAX පහසුකම යටතේ කොවිඩ්-19 රෝග විනිශ්චය, චිකිත්සාව සහ එන්නත් නිෂ්පාදනයට සමානව එන්නත් ලබාදීමේ ප්‍රවේශය වේගවත් කිරීම සඳහා රටක ජනගහනයෙන් අවම වශයෙන් 20% ක් සඳහා එන්නත් ලබා දෙනු ඇත.
මුල දී ඉහළ අවදානම් කණ්ඩායම්වලට එන්නත් ලබාදීම සිදු වේ. එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය සහ මහ ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ටිම් සූටන් මහතා මුල් අදියරේ එන්නත් ප්‍රසම්පාදනය සඳහා යුනිසෙෆ් ආයතනය දැනටමත් සහාය වෙමින් සිටින බවත්, නියමිත 20% ඉලක්කය ඉක්මවා එන්නත් ලබාදීම සඳහා රජයට සහාය විය හැකි බවත් කියා සිටියේ ය.
කොවිඩ්-19 එන්නත් සම්බන්ධයෙන් විස්තර කළ වෛද්‍ය පෙන්ඩ්සේ මහත්මිය, එන්නත ලබා ගත්ත ද ජනතාව පූර්වාරක්ෂාකව සමාජගතව සිටිය යුතු බව අවධාරණය කළා ය.
"එය තවමත් නව එන්නතක්." යැයි කී වෛද්‍ය පෙන්ඩ්සේ මහත්මිය "එය මිනිසුන් මිය යාමෙන් ආරක්ෂා කරයි. නමුත් එය පැතිර යාම කොතරම් දුරට අඩු කරනවා ද දන්නේ නෑ." යැයි ද කියා සිටියා ය.
මෙම විශේෂ හමුවේ දී අවධාරණය කළ ප්‍රධාන පණිවිඩය නම් එන්නත ලැබීමෙන් පසුව වුව ද මිනිසුන්ට මෙම වසංගතය සම්බන්ධයෙන් උදාසීන වී කටයුතු කළ නොහැකි බව ය.
මේ සම්බන්ධ අධ්‍යයනයන් අඛණ්ඩව ක්‍රියාත්මක අතර එන්නත ඔස්සේ ලැබෙන ආරක්ෂාව කොපමණ කාලයක් සඳහා වලංගු දැයි තවමත් නිශ්චිත නැති බව වෛද්‍යවරු පවසති.
ඒ අනුව එන්නත මඟින් වෛරසය ශරීරයෙන් මුළුමනින්ම ඉවත් කරයි ද නැතහොත් වෛරසයේ බලපෑම අඩුකරනවා ද යන්න තවමත් අවිනිශ්චිත ය.
බලපෑම අඩුකිරීම පමණක් සිදුවේ නම් එන්නත ලබා ගත් පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට ආසාදනය වීමේ හැකියාව පවතියි.
එන්නත ලබා ගත් පසුව ද මුව ආවරණයක් පැළඳීමට, අත් සේදීමට සහ ශරීරික දුරස්ථභාවය පවත්වා ගැනීමට මහ ජනයා දැඩිව සිහි තබාගත යුතු ය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි,
රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්,
රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,
අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්,
සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් මේජර් ජනරාල් එස්.එච්. මුණසිංහ,
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශ ලේකම් අමල් හර්ෂ ද සිල්වා,
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
731 Views
Comments