“ඇත්තටම මම ඇයව මගේ ආදරවන්තිය කරගනීවි කියල නම් කවදාවත් හිතුවෙ නැහැ” - එයාලගේ ආදරේ ගැන අඛිල කියපු කතාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

“ඇත්තටම මම ඇයව මගේ ආදරවන්තිය කරගනීවි කියල නම් කවදාවත් හිතුවෙ නැහැ” - එයාලගේ ආදරේ ගැන අඛිල කියපු කතාව (PHOTOS)

“ඇත්තටම මම ඇයව මගේ ආදරවන්තිය කරගනීවි කියල නම් කවදාවත් හිතුවෙ නැහැ” - එයාලගේ ආදරේ ගැන අඛිල කියපු කතාව (PHOTOS)

අඛිල - එමී.. ආදරය උතුරපු මේ පුංචි පවුලට ඒ නම් විශේෂ දවසක්.. 


ඒ දෙන්නා වගේම පුංචි පැටව් දෙන්නත් එදා ඒ ඡායාරූප පෙළ ලස්සන කරලා තිබුණා.. ඉතින් ඒ ගැන වගේම ගෙවී ගිය කාර්‍යබහුල කාලය ගැන අඛිල මෙන්න මේ වගේ කතාවක් තමයි කියලා තිබුණේ..



පහුගිය දවස්වල අඛිල - එමී පුංචි පවුලේ ලස්සන ඡායාරූප පෙළක් බොහෝ ප්‍රතිචාර ලබමින් ෂෙයාර් වුණා. ඒ ගැනත් කතා කරමු?

ඒක විශේෂයෙන් කරපු පොටෝ ෂූට් එකක් නොවෙයි. එක් නාළිකාවක තරු පවුල්වල අවුරුදු උත්සවයක් තිබුණා. හැමෝම වගේම මමත් වයිෆ් සහ ළමයි දෙන්නා එක්ක සහභාගි වුණා. එතැනදි ගත්ත පොටෝ තමයි ඔය විදිහට ෂෙයාර් වුණේ. එහෙම නැතුව ඒක පොටෝ ෂූට් එකක් නම් නොවෙයි. කලාකරුවන් වුණහම අපි කොහේ ගියත් කවුරු හරි පොටෝ ගහල සමාජ මාධ්‍යවලට දානවා. සමහරු වැරැදි ලේබල් ගහලා දාන නිසාම අපිම මේක ෂෙයාර් කළා.

 



ඒ ඡායාරූප පෙළ නිසා ප්‍රේක්ෂකයින් එමීව ඒන්ජල් කෙනෙක් විදිහට පිළිගත්තා. ඒ ගැන මොකද හිතෙන්නේ?

ඔව්. ඔව්. ගොඩක් දෙනා එමීට කමෙන්ට්ස් දාල තිබුණේ ඒන්ජල් කියලා. කලාකරුවන් කොහෝ ගියත් ප්‍රේක්ෂකයින් ඔවුන් සමඟ පොටෝ ගන්න එක සාමාන්‍ය දෙයක්නේ. ප්‍රේක්ෂකයින් ඇයට කොතරම් ආදරේ කරනවද කියනවා නම් පාස්කු දවසේ පල්ලියේදී මගෙත් එක්ක පොටෝ ගත්ත ගොඩක් දෙනෙක් ඇහුවේ “කෝ ඒන්ජල්… අපිට එයත් එක්කත් පොටෝ ගන්න ඕන“ කියලා. මටත් හරි සතුටක් දැනුණා. මගේ ආදරේ තවත් වැඩිවෙනවා.

 



මේ ඒන්ජල් ඔබට මුණ ගැහෙන්නේ අවුරුදු 16දී. ඒ හමුවීම ගැනත් කතා කරමු?

ඇත්තටම මම ඇයව මගේ ආදරවන්තිය කරගනීවි කියල නම් කවදාවත් හිතුවෙ නැහැ. මොකද මට ඒ දවස්වල තිබුණේ පුදුම වේගවත් ජීවිතයක්. එයා හමුවුණු පළමුවැනි දවසෙම මට එයාගෙ හොඳකම තේරිලා “අනේ මේ වගේ හොඳ කෙල්ලෙක්ට කවුරුත්ම වරදක් නම් කරන්න හොඳ නෑ “කියලා හිතලා ගෙදර ඇවිත් එදාම මං ඒ සම්බන්ධය නතර කරලා එයාව පැත්තකින් තිබ්බා. එතකොට මට අවුරුදු 16යි. එයාට 15යි. සමාජය ඉවකරලා හඳුනාගන්න බැරි නම් ලස්සන කලාකරුවෙක් වෙන්න බෑ කියන පාඩම අප්පච්චි අපට පුංචි කාලෙම කියලා දුන්නා. ඒ කාලේ මගේ යාළුවො ඔවුන්ගේ ප්‍රශ්න මං ළඟට අරන් එන්නේ මං ඒවට දෙන විසඳුම සාර්ථකයි කියලා ඔවුන්ගේ විශ්වාසයක් තිබුණ නිසා. කොහොමහරි මේ ප්‍රශ්නෙත් මගේ ළඟටම ආවා. විස්තර හොයලා බලද්දි මං ඒ යාළුවෙලා ඉඳලා තියෙන්නේ මගේ හොඳම යාළුවාගේ නංගි එක්ක. දෛවය කියන්නේ මොනවගේ දෙයක්ද කියනවානම් ඇය කවදාවත් මාව අතහැරලා තිබුණෙ නෑ. ඇය ගොඩක් මානසිකව කඩාවැටිලා ඉඳලා. එතැනදි මං කිව්වා පොඩ්ඩක් ඉන්න ඕකට මට උදවු කරන්න පුළුවන් කියලා. කොහොමහරි එයාලගේ මළ ගෙදරක් තිබිලා අපි ඒකට ගියා. එහෙම තමයි ආයෙම ඒ සම්බන්ධය ඇති වුණේ. ඒ වෙද්දි එයාට අවුරුදු 16 වෙලා තිබුණා. මං මගේ යාළුවට තර්ජනය කරලා කිව්වා මගේ ගැන කිසිම දෙයක් නංගිට කියන්න එපා කියලා. මගේ යාළුවා කොතරම් හොඳ යාළුවෙක් ද කියනවා නම් එයත් නංගිට මොනවත්ම කිව්වෙ නෑ. ඒ විදිහට තමයි මං මගේ හොඳම යාළුවාගේ නංගිව විවාහ කරගන්නේ.

 



දැන් ඔබ හැමෝගෙම ආදරේ ලැබෙන ලස්සන පවුලක හිමිකරුවෙක්?

ඔව්. අපි දෙන්නට ලස්සන, ආදරණීය පවුලක් තියෙනවා. ඒක මගේ ආකෘතියක් නෙවෙයි. අපේ අම්මා අප්පච්චි හදපු ආදරණීය පවුලේ ආකෘතිය. අපිට දැන් දුවෙකුයි, පුතෙකුයි ඉන්නවා. දුව ආරන්‍යා දැන් පාසල් යනවා. හරිම අවබෝධයෙන් වැඩ කරන දරුවෙක්.

 



ඔබ පොඩි කාලෙ ඉඳන්ම ස්වාධීන වෙන්න උත්සාහ කළ චරිතයක් නේද?

අක්කයි, මල්ලියි පොඩි කාලෙ ඉඳන්ම ජනප්‍රිය වෙලා හිටියට ඒ කාලේ මං ගැන කවුරුත්ම දැනගෙන හිටියෙ නැහැ. පුංචි කාලෙ ඉඳන්ම මට තිබුණේ ව්‍යාපාරික සිහිනයක්. මං හම්බ කරන්න පටන් අරන් ස්වාධීන වුණේ හත වසරේදී. අප්පච්චි තමයි මගේ ඒ හීනෙට පණ දුන්නේ. මට නළුවෙක් වෙන්න ඕන කමක් නැති වුණත් යන යන තැන මොකක්දෝ ආකර්ෂණයක්, පිළිගැනීමක් තිබුණා. සුරතල් මසුන් රට යවන ව්‍යාපාරයක් කළ සුරංග කියන අප්පච්චිගේ නෑදෑයෙක් නිසා මමත් ඒ ව්‍යාපාරය පැත්තට යොමු වුණා. ඒත් 10 වසරට එද්දි මං ඒකෙන් ඈත්වෙලා කොටස් වෙළෙඳ පොළේ මුදල් යොදවන්න පටන් ගන්නවා. ඔය විදිහට ව්‍යාපාර කිහිපයක්ම කළා.

 



දැන් ඔබ දෙදරු පියෙක්. වගකීම් තවත් වැඩිවෙලා නේද?

ඔව්. මල්ලිත් දැන් දෙදරු පියෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අක්කටත් පුතෙක් ඉන්නවා. දැනට අපේ පවුලට ඉන්න එකම දුව අපේ ආරන්‍යා. එයා කරන වැඩ සමහර වෙලාවට අපටත් හිතාගන්න බෑ. එයාට අවුරුදු පහ වෙද්දිම ඉස්කෝලෙ යන්නත් පුළුවන් වුණා. එයා තව දරුවෙක් ආවා කියන එක අපට ලොකුවට දැනෙන්න දුන්නෙ නෑ. පවුලේ ලොකු අක්කා විදිහට දැනටමත් එයා වගකීම් අරන් කියලා දැනෙනවා. එයාගෙ මල්ලි විතරක් නෙවෙයි අනෙක් මල්ලිලා දෙන්නවත් බලාගන්නවා. එමීගෙන් ලැබෙන සහයෝගය නිසා තමයි මේ හැම දෙයක්ම හොඳින් සිදුවෙන්නේ. දුවව ලැබුණේ අපේ විවාහ සංවත්සරයට. පුතා ලැබුණේ මගේ උපන්දිනේ දවසේ. ඒ වගේ විශේෂ අවස්ථාවල විශේෂ තෑගි තමයි මට දෙවියන් වහන්සේ දුන්නේ. මේ එකක්වත් ප්ලෑන් කරලා කරපු දේවල් නෙවෙයි. මගේ ජීවිතේම එහෙමයි. කවදහරි දවසක මගේ ගැන පොතක් ලිව්වොත් කවුරුත් පිළිගන්න එකක් නැහැ මං මේ ලියල තියෙන්නේ ඇත්ත කියලා. කවුරුහරි මාව අසාමාන්‍ය විදිහට දකිනවට මං කොහොමත් කැමැතියි.

 



ඔබේ නමේම ඒක කියවෙනවා නේද?

ඔව්. මගේ අප්පච්චි මට දාපු නමට සාධාරණයක් කරන්න මම නිතරම උත්සාහ කරනවා. අඛිල කියන්නේ ඉන්ද්‍රඛීලය ලෙස නොසෙල්වෙන එහෙම නැත්නම් කවදාවත් වෙනස් වෙන්නෙ නැති මනුස්සයා කියන එක. මම හැමවෙලේම හොඳට හෝ නරකට ඕනවට වැඩිය වෙනස් වෙන්න යනවනම් මම ඒකට ඉඩ දෙන්නෙ නැහැ. මගෙ යාළුවෙක් හරි උඹ නම් එදා වගේමයි වෙනස් වෙලා නැහැ කියද්දි මං මගේ නමට සාධාරණයක් කරලා තියෙනවා කියලා පුංචි ආඩම්බරයක් දැනෙනවා. ඒ වගේම ධනුද්ධර කියන්නේ හෙලවෙන්නෙ නැතුව ඉලක්කයට විදින කෙනා. ඔරසන් හරි ගාථා හරි අපි කියන්නෙත් යම්කිසි තේරුමක් ඇතුවනේ. නම කියන්නෙත් ඒ වගේ දෙයක් කියලයි මට හිතෙන්නේ.

 



නිර්මාණ පැත්ත ගැන කතා කළොත්?

කොහොමත් මාව හඳුන්වන්නේ ටෙලි නාට්‍යවල රඟපාන චිත්‍රපට නළුවෙක් විදිහටනේ. මං ආසම සිනමාවට. සිංහබාහු තමයි අවසන් වතාවට තිරගත වුණේ. එකගෙයි සොකරි, දේවි සම්බුලා, පොඩි විජේ කියන චිත්‍රපට තුනම තිරගත වෙන්න තියෙනවා. ඒ වගේම අපි දිගටම වැඩ කරගෙන ආපු ඒවත් තියෙනවා. තවත් අලුත් චිත්‍රපටයක වැඩ පටන් ගත්තා. ඒක ශාන් ජයරත්නගේ නිර්මාණයක්. ශාන් එක්ක මං සම්බන්ධ වෙන දෙවැනි වැඩේ. පළමුවැනි වැඩෙත් හරිම ලස්සනට කෙරුණා. ඒ වගේ තවත් අලුත් අධ්‍යක්ෂවරයෙකුගේ වැඩකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒක අංගම්පොර සටන් කලාව ඇසුරින් නිර්මාණය වෙන එකක්. මං කොහොමත් අලුත් අධ්‍යක්ෂවරුන් එක්කත් වැඩ කරන්න කැමැතියි. අපි ඔවුන්ට අවස්ථාවක් දෙන්න ඕන. මොකද මුල් කාලෙ හිටිය ප්‍රවීණයෝ අලුත් නිර්මාණකරුවන්ට අවස්ථාවක් දුන්න නිසා තමයි හොඳ චිත්‍රපට නිර්මාණය වුණේ. අපිත් නවකයින්ට අවස්ථාවක් දෙන්න ඕන. එතකොට තමයි අලුත් අදහස් තියෙන හොඳ නිර්මාණ බිහිවෙන්නේ. ඊට අමතරව මේ දවස්වල එකගෙයි සොකරි තිරගත කිරීමට අවශ්‍ය කටයුතුවලට දායක වෙනවා.

 

 

 

 

 

 

 

views

66 Views

Comments

arrow-up