ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රභල චරිතයක් දිවිසැරිය නිමා කරයි

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රවීණයකු ලෙස සේවය කළ විශ්‍රාමික සරත් කැල්ලපත ශූරීන් ඉකුත් 18 දා සිය දිවි සැරියෙන් සමු ගත්තේය. අවසන් ගෞරවය සඳහා දේහය ගල්කිස්ස මහින්ද මල් ශාලාවේ තැන්පත් කර තිබේ.
පුවත්වලින් ලොව දැනුවත් කළ සරත් කැල්ලපත මහතා කාර්යශූර නිලධාරියකු පමණක් නොව මාධ්‍ය ලෝකයේ සුවිශාල වපසරියක් අත්පත් කරගත් සන්නිවේදකයෙකි. ඔහු පරිවර්තකයකු, ගත් කතුවරයකු පමණක් නොව පර්යේෂකයකුද විය. සිය දැනුම් සම්භාරය අතැඹුලක් සේ සමාජයට දායාද කළ මානව හිතවාදියෙකි.
70 දශකයේ අවසන් අදියර ගුවන් විදුලියේ ප්‍රවෘත්ති සංස්කාරකවරයකු ලෙස ඔහු කළ සේවය ඉතා විශිෂ්ටය. රුහුණු සේවය ආරම්භයේදී එහි ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා වූ ඔහුගේ ප්‍රවෘත්ති කලාව එම සේවය ඈත ගම්දනව් කරා ප්‍රචලිත වීමට ප්‍රබල හේතුවක් විය. පසුව ඔහු රුහුණු සේවා අධ්‍යක්ෂවරයා විය. අනතුරුව ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධාන කාර්යාල අභ්‍යාස ආයතනයේදී ගුවන් විදුලි ශිල්පීන් හා කාර්ය මණ්ඩල පුහුණු කිරීම්වල යෙදුනි.
ඊට අමතරව ඌව ප්‍රජා ගුවන්විදුලි සේවය ඇරැඹීමට දායකවූ හෙතෙම ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පිළිබඳව බාහිර කථිකාචාර්යවරයකු ලෙස තම නිසඟ හැකියාවෙන් සන්නිවේදන ක්ෂේත්‍රයට මහඟු සේවාවක් ඉටු කළේය.
මේ සියල්ල මෙන්ම ඔහු ගුවන්විදුලි සංස්ථාවේ සිටි උත්තම ගණයේ මනුෂ්‍යයකු විය. දෙදරු පියකු වූ අභාවප්‍රාප්ත සරත් කැල්ලපත ශූරීන්ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද (20) සවස 5ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කරනු ඇත.
277 Views
Comments