රිෂාඩ්ගේ නිවසේ ඇති වූ අහිරහස් ගින්නෙන් දැඩිව පිළිස්සුණු 16 හැවිරිදි බැලමෙහෙවරිය මිය යයි - ගින්න මෙතෙක් අහිරහසක්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිණී ඇවිලී බරපතල පිළිස්සුම් තුවාලලබා රෝහල්ගත කර සිටි බාලවයස්කාර දැරිය අද(15) උදෑසන මිය ගිය බව බොරැල්ල පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ දැනුම් දුන්නේය.
මහේස්ත්‍රාත්වරිය කොළඹ ජාතික රෝහලේ 73 වාට්ටුවේ දැඩි සත්කාර ඒකක දෙකෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය දැරිය නිරීක්ෂණය කිරීම සදහා අද(15) පැමිණියාය.
ඉන් අනතුරුව දැරිය පිළිස්සුම් තුවාල ලැබූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ අංක 410/16, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයෙහි පිහිටි නිවසට ගොස් ස්ථානීය පරීක්ෂණයක් ද මහේස්ත්‍රාත්වරිය විසින් සිදුකලාය.
දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකරන ලෙසට මෙහිදී බොරැල්ල පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදී. එහිදී දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර අධිකරණයට වාර්ථාවක් ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළාය.
ඉකුත් 03 වැනිදා සිරුරට ගිණී ඇවිලීම නිසා බරපතල තුවාල ලැබූ දැරිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මෙසේ මියගොස් ඇත.
මෙම දැරිය ඩයගම බරහිර 3 කොටස, ඩයගම පදිංචි ඉෂාලිනී ජූඩ් කුමාර් නමැති 16 හැවිරිදි බාලවයස්කාර දැරියකි.
566 Views
Comments