අද දිනයේදී ප්‍රදේශ රැසකට වැසි - මුහුදත් රලුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
26

අද දිනයේදී ප්‍රදේශ රැසකට වැසි - මුහුදත් රලුවෙයි

අද දිනයේදී ප්‍රදේශ රැසකට වැසි - මුහුදත් රලුවෙයි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. 

 

මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.

 

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී.50 දක්වා වැඩි විය හැක.

 

උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින 'ගුලාබ්' සුළි කුණාටුව උතුරු අක්ෂාංශ 18.3 සහ නැගෙනහිර දේශාංශ 87.9 ආසන්නයේ ස්ථානගතව පවතින අතර අද (26) හවස් වන විට අසන්න වශයෙන් බස්නාහිර දිශාවට ගමන් කර ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශය සහ දකුණු ඔඩිස්සා අතර වෙරළ තිරයෙන් ගොඩ බිම තුලට ගමන් කරනු ඇතැයි   බලාපොරොත්තුවේ.

 

උතුරු අක්ෂාංශ 15.0 සහ 20.0,නැගෙනහිර දේශාංශ 80.0 සහ 90.0 මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙසද දැනට මෙම ප්‍රදේශයේ ස්ථානගතව සිටින අය වෙතොත් ආරක්ෂාකාරී ස්ථාන වෙත ගමන් කරන ලෙසද අවවාද කරනු ලැබේ.

 

මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට තද වැසි ද ඇතිවිය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (35-45) පමණ වේ. මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) පමණ දක්වා වැඩි විය හැක.

 

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වේ. සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

ධීවර සහ නාවික ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස අවවාද කරනු ලැබේ.

views

690 Views

Comments

arrow-up