අබිරහස් ලෙස අතුරුදන් වූ උපාලි විජයවර්ධනගේ අන්තිම පැය 24
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

අබිරහස් ලෙස අතුරුදන් වූ උපාලි විජයවර්ධනගේ අන්තිම පැය 24

අබිරහස් ලෙස අතුරුදන් වූ උපාලි විජයවර්ධනගේ අන්තිම පැය 24

මුලින් ම ලංකාවට පෞද්ගලික ගුවන් යානයක් ගෙනැවිත් ශ්‍රී ලාංකිකයන් අතර ඉමහත් ආඩම්බරයට ත් අභිමානයට ත් ලක් වුණු උපාලි විජයවර්ධන උඩු ගුවනේදී ම අබිරහස් ලෙස අතුරුදන් වීම මෙරට මිනිසුනට තවමත් කුතුහලය දනවන කාරණයකි. මෙවැනි අබිරහස් අවසානයක් ඇති මිනිසුන්ගේ කතා ලෝකයේ හරි විරල ය.

 

‘රාජාරාම්’ සීනි බෝල මැෂිමෙන් 1970 දී පමණ ඇරැඹි ගමනෙන් අනතුරුව පටන් ගත් ඩෙල්ටා ටොෆි ව්‍යාපාරය ඔහුගේ එක් ජයග්‍රාහී කඩඉමක් විය. කැන්ඩොස් චොක්ලට්, ෆියට්-මැස්ඩා මෝටර් රථ නිෂ්පාදනය, උපාලි ඉලෙක්ට්‍රොනික්ස්, ප්ලාන්ටේෂන්, අභ්‍යන්තර ගුවන් සේවා, ජනප්‍රිය දිවයින හා The Island පුවත්පත් වැනි තවත් ව්‍යාපාර ඉසව් කරා එය පුළුල් වී ගියේ ය. ඔහු මේ සියලු පෙළහර පෑවේ අද වැනි විවෘත ආර්ථිකයක්වත් ව්‍යාපාරික පහසුකම්වත් නොතිබුණු ඈත කාලයක වීමය වැදගත් ම කාරණ ය.

 

ලංකාවේ කැන්ඩොස් චොකලට් ෆැක්ටරියට අමතරව මැලේසියාවේ චොකලට් ෆැක්ටරියක් දමන්නට උපාලි කල්පනා කළේ 1972 තරම් ඈත කාලයකදී ය.

 

‘පැරට් රිවර් හා ලෝ පැරට් රිවර්’ යනුවෙන් මැලේසියාවේ සුවිශාල ගංගා දෙකක් වෙයි. මේ ගංගා ආශ්‍රිතව ඇති අක්කර 4,000ක පමණ විශාල කොකෝ හා පොල්වතු ප්‍රමාණයක් ඔහු මිල දී ගත්තේ ය. පොල් ගස් පේළි දෙකක් අතර යටි වගාව වශයෙන් කොකෝවා පේළි සකස් කර තිබුණු ඒ වතුයාය ඉතා මනරම් එකක් විය. එහි කෙළවරක සුවිශාල කැන්ඩොස් චොකලට් ෆැක්ටරිය ඉදි විය. වතු යායේ කොකෝ චොකලට් නිෂ්පාදනය සඳහා යොදා ගත් අතර පොල් කොප්පරා වශයෙන් සකස් කොට තෙල් සිඳීම කළේ ය. මේ වතු යායේ වැඩ කළේ ඉන්දියානු හා මැලේසියානු ජාතිකයන් ය. පරිපාලන හා කළමනාකරණ කටයුතු සඳහා ලංකාවේ කිහිප දෙනෙකු යොදා ගැනිණි. පසු කාලයක චොකලට් රජා යන අරුත දෙන ‘චොක්ලට් කිං උපාලි’ යන නම උපාලිට මැලේසියානු රටේ පටබැඳෙන්නට පවා මේ ජනප්‍රියත්වය හේතු විය. 

 

ඔහු මාස දෙක තුනකට වරක් පමණ මේ වතුයායේ හා චොකලට් කර්මාන්ත ශාලාවේ තත්ත්වය පරික්‍ෂා කරන්නට ගියේ ය. ‘එයාර් ලංකා’ යානාවලින් ගමන් කරමින් ඒ කාලසටහනට අනුව වැඩ කිරීම කාලය අපතේ යැවීමක් විය. අනෙක් අතට ඔහු විසින් මිල දී ගනු ලැබූ අශ්වයන් සිංගප්පූරුවේ සිටි අතර ඔස්ට්‍රේලියාවේ තුරඟ තරග සඳහා ද යොදවා තිබිණ. ඒ නිසා තමන්ට රිසි පරිදි මේ රටවල් දෙකට ම යාම සඳහා පෞද්ගලික ගුවන් යානයක් මිල දී ගැනීමේ අවශ්‍යතාව මතු විය. 

 

ඔස්ට්‍රේලියාවේ තුරඟ තරග නැරඹීම සඳහා යෑමට ඔහු මුලින්ම මිල දී ගත්තේ Sesna Sitation නම් පෞද්ගලික ගුවන් යානයයි. මඳ කලකින් එය තම කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන බව ඔහුට වැටහිණි. ඒ වන විට ඔහුගේ අශ්වයින් ඔස්ට්‍රේලියාවේ තුරඟ තරග සඳහා ද ඉදිරිපත් කර සිටි බැවින් ඔස්ට්‍රේලියාවට එක එල්ලේ පියාසර කළ හැකි  Lear Jet නමින් අධිවේගී ගුවන් යානයක් මිල දී ගත්තේ ය. එය එකල ලෝකයේ ප්‍රමුඛ පෙළේ ධනවතුන්, රජවරුන් හා සුල්තාන්වරුන් පරිහරණය කරන වර්ගයේ ඇමෙරිකාවේ නිෂ්පාදිත ජෙට් යානාවක් විය.

 

ඔය කියන අවසන් දින දෙකේ උපාලි ගොස් සිටියේ මැලේසියානු වතු යායේ හා චොකලට් ෆැක්ටරියේ කටයුතු පිරික්සන්නට ය. එහි ගිය විට නවතින්නට වතු යායට යාබද Coco Hill නමින් දර්ශනීය බංගලාවක් ද තිබිණ.

 

අද මෙන් දියුණු විශාල ගුවන් තොටුපළක් නොවුණු ක්වාලාලාම්පූර් ගුවන් තොටේ විවෘත ස්ථානයක ලියර් ජෙට් යානය නැවැත්වීම සඳහා පහසුකම් තිබුණේ ය. එය එතරම් ආරක්‍ෂිත නොවූ කවුරුත් එන යන තැනක් විය.

 

එක්දහස් නවසිය 80-81 පමණ වන විට උපාලි විජයවර්ධන ව්‍යාපාරික ලෝකයේ මතු නොව ලංකාවේ දේශපාලනය තුළ ද ආන්‍ෙදෝලනාත්මක චරිතයක් බවට පත්ව සිටියේ ය. ලංකාවේ මුල් ම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනටත් ලංකාවේ මුල් ම අගමැතිනිය සිරිමා බණ්ඩාරනායක මැතිනියටත් ඔහුට ළඟ ඥාතිත්වයක් තිබිණ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධියක් ලබා පැමිණ සිටි ඔහුට ජේ. ආර්. ජයවර්ධන යටතේ මහ කොළඹ ආර්ථික කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් තනතුර හිමි වූයේ ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ගෙන්වා ගැනීමේ මග පෙන්වන්නෙකු වශයෙනි. ඒ නිසා උපාලි දේශපාලනයට පැමිණීම ලංකාවේ එදත් පැවති බල අරගලය තුළ ඇතැමුන් රුස්සන කරුණක් වූයේ නැත.

 

මේ තත්ත්වය තීව්‍ර වන්නට තවත් සිද්ධියක් මුල් විය. හොංකොං කේන්ද්‍ර කර ගනිමින් මුද්‍රණය වන ‘Far Eastern Economic Review’ ලෝකයේ ජනප්‍රිය වෙළෙඳ සඟරාවකි. ඒ සඟරාව උපාලි සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූයේ ය. එහි මාධ්‍යවේදියා ඔහුගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇසුවේ ය.

 

“ඔබට ශ්‍රී ලංකාවේ ජනාධිපති වෙන්න බලපොරොත්තුවක් තියෙනව ද?”

 

“වෙන මොනව ද මට ඉතුරු වෙලා තියෙන්නෙ..?”

 

උපාලි වාර්තාකරුගෙන් පෙරළා ප්‍රශ්න කළේ ය. මෙය එකල ලංකාවේ දේශපාලනය ගිනිගන්නා කතාවක් විය. අනතුරුව ඔහු තවත් වැඩක් කළේ ය. ඒ සම්මුඛ සාකච්ඡාවේ ෆොටෝ කොපි පිටපත් 5ක් ගත්තේ ය. එයින් පළමුවැන්න තම හිතවත් ඥාතියා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන වෙත යැව්වේ ය.

 

ජේ. ආර්.ට යැවූ පිටපතේ ඔහු මෙසේ සටහනක් තැබුවේය.

 

Dear uncle Dicky,

hope you enjoy this as much as I did.

- Upali

(දයාබර අංකල් ඩිකී, මේ ගැන මා වගේම ඔබත් සතුටු වනු ඇතැයි සිතනවා - උපාලි.)

 

ඒ මදිවාට ඔහු එහි තවත් පිටපත් දෙකක් යැව්වේ එවක අගමැති ප්‍රේමදාසට සහ මුදල් ඇමති රොනී ද මැල්ට ය.

 

උපාලි විජයවර්ධන දිවයින හා දි අයිලන්ඩ් පුවත්පත් ද්විත්වය පටන් ගන්නේ 1981 අග හරියේදී ය. ලංකාවේ පළමු වන ටෙස්ට් නායකයා බන්දුල වර්ණපුර 1982 දී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමක් සම වර්ණභේදවාදී දකුණු අප්‍රිකාවට පෞද්ගලික ක්‍රිකට් කණ්ඩායමක් ලෙස යාමට තීරණය කිරීම මහත් ආන්දෝලනයට තුඩුදුන් කාරණයක් විය. එවකට ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ ගාමිණි දිසානායක සහ ආනන්ද තිස්ස ද අල්විස් වැනි ප්‍රබල ඇමතිවරු මේ තීරණයට තදින් විරුද්ධ වූහ. වර්ණපුරලාට කිසිදු ආකාරයේ ප්‍රචාරයක් නොදෙන ලෙස ලංකාවේ සියලු පුවත්පත්වලට ඔවුන් දන්වා තිබිණ.

 

(මගේ මතකයේ හැටියට එකල විද්‍යුත් මාධ්‍ය තිබුණේ රජයේ රූපවාහිනිය පමණි.) සම්භාවනීය ඉංග්‍රීසි පුවත්පත් කතුවරයෙකු වූ විජිත යාපා අයිලන්ඩ් පත්තරයේ ආරම්භක කතුවරයා විය.

 

ලංකාවේ අනෙක් සියලු ම පුවත්පත් ඒ ඉල්ලීමට අවනත වුණත් අයිලන්ඩ් පත්තරය දිගින් දිගට ම වර්ණපුරලාට ප්‍රචාරය දුන්නේ ය. කටුනායක ගුවන්තොටුපළින් වර්ණපුරගේ කණ්ඩායම බැගේජ තල්ලු කර ගෙන පිටත්ව යන ඡායාරූපයක් ද පළ කළේ ය.

 

මේ ගැන ඇමති ගාමිණි දිසානායක දැඩි ලෙස කෝප විය. ඔහු අයිලන්ඩ් කතුවරයාට කතා කළේ ය.

 

“ඔයගොල්ල මොනව ද මේ කරන්නෙ. අනෙක් පත්තර ඔක්කොම සම්පූර්ණයෙන් නතර කරල තියෙන්නෙ මේ ගොල්ලන්ට පබ්ලිසිටි දෙන එක...”

 

“ඇමතිතුමා වර්ණපුරලාගේ වැඩේට අපේ පත්තරේ ප්‍රතිපත්තියක් හැටියට විරුද්ධයි. ඒ ගැන කතුවැකියකුත් අපි ලිව්වා. ඒත් ක්‍රිකට් සංචාරය ගැන දැන ගන්න අපේ පාඨකයන්ට අයිතියක් තියෙනවා. අපි ඒ අයිතියට ගරු කරන නිසයි දාන්න තීරණය කළේ...”

 

ගාමිණි දිසානායකට හොඳට ම කේන්ති ගියේ ය. “හරි මං ඔයාගෙ ලොක්කට කතා කරන්නම්” යැයි කියමින් රිසීවරය තිබ්බේය. උපාලි විජයවර්ධනට දුරකතන ඇමතුමක් දුන්නේ ය. උපාලි උත්තර දුන්නේ ය.

 

“ගාමිණි ඔයා කැබිනට් එකේ නියෝජිතයෙක්. කැබිනට් එකේ වැඩ කරන හැටි මම ඔයාට උගන්නන්න එන්නෙ නැහැනෙ. ඒ නිසා ඔය බලපෑම මගේ පත්තරේට කරන්න එන්න එපා. මං කැමතිත් නෑ මගේ කර්තෘට බලපෑම් කරන්න. ඔයාට කිසි අයිතියක් නැහැ එහෙම කියන්න...”

 

ගාමිණි දිසානායකට හිතා ගන්නට බැරි උත්තරයක් දුන් උපාලි වහා ම විජිත යාපා කැඳවීය.

 

“විජිත ඔයාට ගාමිණි කතා කළා නේද?”

 

“ඔව් සර් මොනවද කිව්වෙ..”

 

ගාමිණිට දුන් උත්තරය තම කතුවරයාට කී උපාලි විජයවර්ධන,

 

“දැන් මේ ගැන හෙට පත්තරේට මොනව ද තියෙන්නෙ..”

 

“සර් වර්ණපුරලා සවුත් අප්‍රිකා එයාර්පෝට් එකෙන් එළියට යන රොයිටර් පින්තූරයක් තියෙනවා... (එකල අන්තර්ජාල පහසුකම් තිබුණේ නැත.)

 

“මේක කොහෙද දාන්නෙ...”

 

“සර් Page 14... සාමාන්‍ය විදිහට ස්පෝර්ට්ස් පේජ් එකේ දාන්න තීරණය කළේ..”

 

“නැහැ.. ඔය පින්තූරෙ Page 1 දාන්න. කාටවත් ඕන විදිහට පත්තර කරන්න අපිට බැහැ..”

 

ගාමිණි දිසානායකට යට නොවුණු අයිලන්ඩ් පත්තරය පසු දා පළමු වන පිටුවේ අර පින්තූරය පළ කළේ ය. උපාලි විජයවර්ධන ඒ ජාතියේ මිනිසෙකු විය.

 

මේ කාලය වන විට ඔහු රුහුණු උදානය නමින් දකුණේ සංවර්ධන වැඩපිළිවෙළක් අරඹා තිබිණ. එහි කඹුරුපිටියේ උත්සවයකට ගිය ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සමග විවෘත ජීප් රථයක නැගුණු උපාලි ජේ. ආර්. ගේ කරට අත දමා සිටින ඡායාරූපයක් ඔහුගේ ‘දිවයින’ හා ‘දි අයිලන්ඩ් ’ පත්තරවල පළ විය. පින්තූරය ගත්තේ එකල ‘දිවයින’ පත්තරයේ ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු වූ ප්‍රසන්න හෙන්නායක ය. ඒ කාලයේ ජේ. ආර්. ගේ කරට අතදාන්නට පුළුවන් ලේසි පුතෙක් ලංකාවේ තබා ලෝකයේවත් හිටියේ නැත. ජේ. ආර්. ගේ ඊළඟ අනුප්‍රාප්තිකයා උපාලි විජයවර්ධන බවටත් ඊළඟ ජනාධිපතිවරණයේදී උපාලිට අපේක්‍ෂකත්වය ලැබෙනු ඇති බවට ත් මෙරට සමාජය තුළ ප්‍රබල මතයක් ඇති වෙමින් තිබිණ.

 

උපාලි විජයවර්ධනගේ තාත්තා සේදවත්ත වලව්වේ ‍දොන් වෝල්ටර් විජයවර්ධන ය. අම්මා කඹුරුපිටිය මිරිස්වත්ත වලව්වේ අනුලා විජේසිංහ ළමාතැනී ය. උභය පාර්ශ්වයෙන් ම ඉහළ පෙළැන්තියක වූ විජයවර්ධන පරම්පරාව ඓතිහාසික කැලණිය රජ මහා විහාරයට පාරම්පරික සම්බන්ධකම් ඇති පරම්පරාවක් විය. උපාලිගේ අත්තම්මා හෙලේනා විජයවර්ධන ළමාතැනී ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ප්‍රමාණයක් වන්දනාමාන කරන කැලණිය විහාරයේ ඉදිකිරීම් විශාල ප්‍රමාණයක දායිකාව ය. ඒ අනුව හෙලේනා විජයවර්ධනගේ මුණුපුරා වන උපාලි විජයවර්ධන පරම්පරා උරුමයෙන් කැලණිය රජ මහා විහාරයේ බස්නායක නිලමේය. ඔහුගේ අබිරහස් අතුරුදන්වීම සිදුවුණු 1983 පෙබරවාරි මාසයට කලින් ජනවාරි මාසයේ අවසන පැවැති කැලණිය දුරුතු පෙරහරට බස්නායක නිලමේ හැටියට උපාලි සහභාගි වූයේ ය.

 

කරඬුව ඇතා පිට මතට වැඩම වූ නමුත් උපාලි එදා පෙරහරේ වීදි සංචාරය කරන්නට කැමැත්තක් දැක්වූයේ නැත. උපාලි ගේ සොහොයුරියන් දෙදෙනා වන කල්‍යාණි සහ අනෝජා දේවී ද එදා කැලණිය පෙරහර උත්සවයට පැමිණ සිටියහ.

 

‘‘ඇයි මල්ලි පෙරහරේ යන්නෙ නැද්ද..?’’ උතුරු ඉන්දියානු පන්නයේ මහාරාජා ඇඳුමින් අභිමානවත් ලෙස සැරැසී සිටි උපාලිගෙන් අක්කා කල්‍යාණි ඇසුවා ය.

 

උපාලි ඉංග්‍රීසි භාෂාවෙන් මෙසේ කීවේ ය.

 

"Younger generation should take over, Now your son is a ‘target’."

 

උපාලි ඇත්තට ම අක්කාට කීවේ විහිළුවට මෙනි. ඇය වික්ෂිප්ත වූවා ය. එදා උපාලි වෙනුවට පෙරහරේ බස්නායක නිලමේ හැටියට වීදි සංචාරය කළේ උපාලිගේ බෑනා හෙවත් සොහොයුරිය කල්‍යාණි ආටිගලගේ පුතා ධම්මික ආටිගල ය.

 

උපාලි කී ඒ කතාව තුළ සැඟව තිබුණේ කුමක් ද? තමා කාගේ හෝ ‘ඉලක්කයක්ව’ (target) සිටිතැයි උපාලි කීවේ කුමක් ගැන ද?

 

කෙසේ නමුත් ඉන් දින දෙකකට පසු උපාලි මැලේසියාව බලා පිටත් වූයේ තමාගේ ම ‘ලියර් ජෙට්’ යානයෙනි. ඒ ගමනට හය දෙනෙකු සහභාගි විය.

 

එවකට උපාලි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂවරයෙකුව සිටි ආනන්ද පේලි මුහන්දිරම්, උපාලිගේ නීති කටයුතු පිළිබඳ උපදේශකයෙකු වන රත්නම්, ලියර් ජෙට් යානයේ නියමු සහ සහාය නියමු කපිතාන් ආනන්දප්පා සමග සිඩ්නි සොයිසා ය. ඊට අමතරව උපාලිගේ සහායකයෙකු වශයෙන් සේනානායක නමැත්තෙක් ද විය.

 

එවර මැලේසියාවට ගිය උපාලි ඇතුළු පිරිස එහි සති දෙකක් පමණ ගත කළේ ය. එය කොකෝවා නෙළන කාලයක් වූ බැවින් විවෘත ජීප් රථයකින් සුවිශාල වතුයායේ ඔබ මොබ ඇවිදිමින් උපාලි සියල්ල නිරීක්‍ෂණය කළේ ය. කැන්ඩොස් ෆැක්ටරිය ගැන සොයා බැලීම් ද කළේ ය. අක්කා අනෝජාදේවි විජේසුන්දරගේ උපන් දිනය ජනවාරි 28 වන දා ය. එදා ඔහු මැලේසියාවේ සිට අක්කාට සුබ පැතුවේ ය.

 

උපාලි ගේ 45 වන උපන් දිනය යෙදී තිබුණේ 1983 පෙබරවාරි 17 වන දාට ය. එදිනට ලංකාවේ සිටින්නට එන බව ඔහු සිය බිරිය ලක්මණි විජයවර්ධන මහත්මියට දුරකතනයෙන් කතා කොට කීවේ ය.

 

ක්වාලාලාම්පූර් ගුවන් තොටට ක්‍රමයෙන් රාත‍්‍රිය උදාවෙමින් තිබුණු ඒ දවස 1983 පෙබරවාරි 13 වන දා ය.  උපාලි ඇතුළු පිරිස ගුවන් තොටේ පසෙකින් නවතා තිබුණු ලියර් ජෙට් යානය වෙත පැමිණියහ.

 

යානය භාර ගත්තේ ගුවන් නියමු ආනන්දප්පා ය. 13 වන දා මධ්‍යම රාත්‍රිය පසුවන විට රත්මලාන ගුවන්තොටුපළට පැමිණීම සඳහා ක්වාලාලාම්පූර් ගුවන් තොටින් යානය පණගැන්විණි.

 

ඒ අවසාන මොහොත සම්බන්ධයෙන් එදා මැලේසියාවේ ක්වාලාලාම්පූර් ගුවන්තොටේ පාලන මැදිරියේ සිටි පුද්ගලයා පසු කාලයක දවසක සිංගප්පූරුවේදී මෙවැනි කතාවක් කියා තිබිණ.

 

‘‘මට තාම මතකයි එදා ප්ලේන් එක වෙනදට වඩා හරි හිමින් ගත්තෙ. ඒක වෙන්න බැරි දෙයක්. මං තුන් පාරක් ‘වෝන්’ කළා ස්පීඩ් කරන්න කියල. මොකද ඒ වෙලාවෙ වෙන ප්ලේන් එකක් ලෑන්ඩ්  කරන්න බැරිව කැරකෙමින් තිබුණේ මේ ප්ලේන් එක නිසා. ඒත් ආනන්දප්පා මට ‘රෙස්පොන්ස්’ කළේ නැහැ. උපාලි නිරන්තර අවදානම් ගන්න පුද්ගලයෙක් හැටියට මම දැනගෙන හිටිය නිසා මං ඒ ගැන සැලකිලිමත් වුණා...’’

 

මේ සිද්ධියට දැන් වසර 39කි. කෙසේ නමුත් උපාලි ඇතුළු පිරිස රැගෙන ක්වාලාලාම්පූර් ගුවන් තොටුපළින් එදා 1983 පෙබරවාරි 13 වන දා රාත්‍රියේ පිටත් වූ ලියර් ජෙට් යානය ලංකාවේ රත්මලාන ගුවන් තොටුපළට අද වන තුරු පැමිණියේ නැත. එය ඉන්දුනීසියාව, මලක්කා සමුද්‍ර සන්ධිය හා ඉන්දියන් සාගරය උඩින් පියාසර කළ යුතුව තිබිණ.

 

පසු දාට එළිවන්නට මෙය මුළු ලංකාව පමණක් නොව ලෝකය ම සැකයටත් විස්මයට ත් පත් කළ උණුසුම් පුවතක් වූයේ ය. ඒ කාලයේ ලංකාවේ පළ වූ සියලු පුවත්පත්වල මෙන්ම තිබුණු එක ම රූපවාහිනි විද්‍යුත් මාධ්‍යයේ ද දින ගණනාවක් යනතුරු ප්‍රධාන සිරස්තලය වූයේ මේ පුවත ය. ඒ වන විට ඉන්දියන් සාගරය ඇතුළු මලක්කා සමුද්‍ර සන්ධිය අවට සුවිශාල කලාපයේ ගමන් කරමින් තිබුණු සියලු ගුවන් යානා ද, සියලු නැව් ද, සියලු ධීවර බෝට්ටු ද මේ ගැන සැලැකිල්ලෙන් සිටින්නට තරම් උපාලි සෙවීම ගැන මුළු ලෝකය ම දැඩි උණුසුමක සිටියේය. කොළඹ කේන්ද්‍ර කර ගනිමින් එකල ලේක්හවුසියෙන් නිකුත් කළ දහවල් පුවත්පතක් වූ ‘ජනතා’ පත්තරය 83 පෙබරවාරි 14 වන දා මුළු කොළඹ කොටුව පුරා ම මිනිසුන් දිගහැර ගෙන සිටිනු දිටිමි. එහි පළමු පිටුවේ පළ කළ ප්‍රධාන සිරස්තලයෙන් ඒ ක්‍රියාන්විතයේ පරිමාව සිතා ගන්නට පුළුවන.

 

‘‘නැව් 200ක් උපාලි හොයයි...’’

 

සමස්ත ශ්‍රී ලාංකේය රටවැසියන් ද විශේෂයෙන් ම තමන්ගේ මිනිහා ගැන දකුණේ ජනතාව ද කම්පාවටත් වේදනාවටත් පත්ව සිටියහ. ක්වාලාලාම්පූර් සිට එන ගමනේ මලක්කා සමුද්‍ර සන්ධියට ඉහළ අහසේදී ගුවන් යානය අතුරුදන්ව තිබිණ.

 

ලන්ඩනයේ කේම්බ්‍රිජ් සරසවියේ ඉගෙන ගන්නා ඈත දවසක උපාලි විජයවර්ධන සිසුවාගේ එකම කාමරයේ සගයා වූයේ ද හිතවතා වූයේ ද ඥාති සොයුරා හෙවත් මහප්පාගේ එක ම පුතා රංජිත් විජයවර්ධන ය. ඔහු උපාලි ගැන කී හරි පුදුම කතාවකින් මේ සටහන නිමා කරමි.

 

“ඒ 1956 ඉරිදාවකි. සීතල උදෑසනේ අපි නවාතැනේ බිම ඉඳගෙන ඉරිදා පුවත්පත් කියවමින් සිටියෙමු. නවාතැනේ පොළොව මිසක වෙනත් සුවපහසු තැනක් නොවී ය. පුංචි කාමරය උණුසුම් කෙරෙන ගෑස් උදුනේ උණුසුම යන්තම් හෝ දැනුණේ එතැනට පමණි.

 

උපාලි කියවමින් සිටියේ, අනතුරකින් අබිරහස් ලෙස මිය ගිය අලිඛාන් කුමරු පිළිබඳ පුවතයි. ‘මටත් ඕන අන්න ඒ විදිහට සමුගන්න..’ උපාලි එදා පැවසීය. උපාලි අපෙන් සමුගත්තේ ද ඒ විදිහට ය. මලක්කා සමුද්‍ර සන්ධිය අහසේදී උපාලි සමග අතුරුදන් වූ ලියර් ජෙට් යානය පිළිබඳ පුවත ඔහුගේ ම මිනිසුන් අතර අලිඛාන් කුමරුගේ පුවතට වඩා ඉහළින් රැව් දුන්නේ ය. සියල්ලෝ ම ඔහුගේ තොරතුරක් දැනගනු රිසියෙන් යුහුසුලුව සිටියහ...”

 

මිනිසුන්ගේ ඉරණම මොන තරම් දෛවෝපගත ද?

 

 

 

 

 

 

තිස්ස කොරතොට

views

1855 Views

Comments

arrow-up