කොටස් වල ආයෝජනයෙන් ලැබිය හැකි ප්‍රතිලාභ පිළිබඳව ඔබ දැනුවත්ද?
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

කොටස් වල ආයෝජනයෙන් ලැබිය හැකි ප්‍රතිලාභ පිළිබඳව ඔබ දැනුවත්ද?

කොටස් වල ආයෝජනයෙන් ලැබිය හැකි ප්‍රතිලාභ පිළිබඳව ඔබ දැනුවත්ද?

සමාගම් වල කොටස් මිලට ගැනීම මුදල් ආයෝජනය කළ හැකි තවත් විධිමත් ආයෝජන මාර්ගයකි. එය සිදුකරන්නේ කොටස් වෙළෙඳපොළ හරහා ය. මේ මගින් සීමිත සමාගම් කොටස් නිකුත් කරන අවස්ථාවලදී හෝ සමාගම් වලින් කොටස් මිලදී ගෙන ඇති ආයෝජකයන් ඒවා නැවත විකුණන අවස්ථාවලදී හෝ කොටස් මිලදී ගත හැකි වේ. ශ්‍රී ලංකාවේ කොටස් ගනුදෙනු කිරීම සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ පිහිටුවා ඇත. මෙම වෙළඳපොලේ ගනුදෙනු කරන්නේ එහි ලියාපදිංචි සමාගම් වල කොටස් පමණි. කොළඹ කොටස් වෙළඳපොලේ ලියාපදිංචි කළ සමාගම් මිළ කළ සමාගම් ලෙසින් හැඳින්වේ. කොළඹ කොටස් වෙළඳ පොළේ කටයුතු මෙහෙයවනු ලබන්නේ කොළඹ කොටස් හුවමාරුව විසිනි. එමෙන්ම ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාව විසින් මෙහි කටයුතු අධීක්ෂණය කරනු ලබයි. සීමිත සමාගමක සාමාන්‍ය කොටස් වල මුදල් ආයෝජනය කළ පාර්ශවයන්ට විවිධ ප්‍රතිලාභ භුක්ති විඳිය හැකිය. එවැනි ප්‍රතිලාභ පිළිබඳව පහතින් දැනුවත් වෙමු.

ලාභාංශ


සමාගම උපයන ශුද්ධ ආදායමෙන් කොටස් හිමියන්ට බෙදාහරින ප්‍රමාණය ලාභාංශ වශයෙන් හැඳින්වේ. මූල්‍ය වර්ෂයක් අවසානයේ ලාභාංශ ප්‍රකාශයට පත් කරනු ලැබේ. සමහර සමාගම් ඊට අමතරව වර්ෂය තුළදී ද ලාබාංශ ප්‍රමාණයක් ගෙවීම සිදු කරයි. මේවා අතුරු ලාභාංශ යනුවෙන් හැඳින්වේ. සමාගම වැඩි ලාභයක් ඉපයූ අවස්ථාවලදී මෙම කොටස් හිමියන්ට වැඩි ලාභාංශ ප්‍රමාණයක් හිමිවිය හැකිය.

ප්‍රාග්ධන ලාභ


කොටස් මිලදී ගත් ආයෝජකයින් ඒවා ගත් මිලට වඩා වැඩි මිලකට විකුණන විට ඔහුට ලැබෙන වාසිය ප්‍රාග්ධන ලාභ වශයෙන් හැඳින්වේ.

ප්‍රසාද කොටස් සඳහා හිමිකම


සාමාන්‍ය කොටස් මිලදීගත් ආයෝජකයන්ට මිලදීගෙන ඇති කොටස් මත මිලක් අය නොකර යම් අනුපාතයකට අනුව ලබාදෙන කොටස් ප්‍රසාද කොටස් ලෙස සැලකේ. මේ අනුව සාමාන්‍ය කොටස් හිමියන් මුදලින් දායක නොවූවද හිමි වන සියලුම කොටස් මත හිමිකම් ලබා ගනී.

හිමිකම් නිකුතුව


සමාගමක් කොටස් නිකුත් කරන අවස්ථාවකදී දැනට සමාගමේ කොටස් මිල දී ගෙන සිටින ආයෝජකයන්ට කිසියම් අනුපාතයක් අනුව තීරණය කරන ලද මිලකට කොටස් ලබාදීම හිමිකම් නිකුතුව ලෙස දැක්විය හැකිය. මෙවැනි අවස්ථාවල දී ලබන වාසිය වනුයේ කොටස් වෙළෙඳ පොලේ පවතින මිලට වඩා අඩු මිලකට කොටස් මිලට ගැනීමට අවස්ථාව ලැබීමයි.

කොටස් වෙනත් අයකුට පවරා මුදල් බවට පත්කර ගැනීමේ හැකියාව


යම් ආයෝජකයෙකු මිලදී ගත් සාමාන්‍ය කොටස් තමාට මුදල් අවශ්‍ය වූ විටක පවරා මුදල් බවට පත් කර ගැනීමේ හැකියාවක් පවතී.

සුරැකුම් ලෙස ඉදිරිපත් කළ හැකිවීම


බාහිර ආයතනවලින් ණය ලබා ගැනීමේදී සාමාන්‍ය කොටස් වල ආයෝජනය කිරීම වෙනුවෙන් ලද කොටස් සහතිකපත් ඇප සුරැකුම් ලෙස ඉදිරිපත් කළ හැකිය.

වෙනත් ප්‍රතිලාභ


ඉහත දැක්වූ ප්‍රතිලාභ වලට අතිරේකව සාමාන්‍ය කොටස් හිමියන් ලබන වෙනත් ප්‍රතිලාභ ද තිබේ. අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වීමේ හැකියාව ලැබීම, ව්‍යාපාරික තීරණ ගනු ලබන අවස්ථාවල දී අදහස් ඉදිරිපත් කිරීමට හැකිවීම, භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී එම ආයතනයේ කොටස් හිමියකු නම් විශේෂ සහන ලබා ගැනීමේ හැකියාව යනාදිය එම වෙනත් ප්‍රතිලාභ වේ.

මෙවැනි ප්‍රතිලාභ පිළිබඳව ලබන දැනුවත්භාවය අනාගතයේ දී කොටස්වල ආයෝජනය කිරීමෙන් වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමට ඔබටත් ඉවහල් වනු ඇත.

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

views

637 Views

Comments

arrow-up