කොළඹට ළගම පුංචි නුවරඑළිය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
27

කොළඹට ළගම පුංචි නුවරඑළිය

කොළඹට ළගම පුංචි නුවරඑළිය

අපි හැමෝම කැමති මේ අවිවේකී, කාර්‍යබහුල ජීවන රටාවෙන් මදකට මිදිලා නිදහස්, නිස්කලංක තැනකට ගිහින් සුන්දරත්වය විදලා එන්න. එහෙම කියනකොටම මතක් වෙන, හැම දෙනාම වගේ යන්න කැමති තැනක් තමයි පුංචි එංගලන්තය එහෙම නැතිනම් නුවර එළිය කියන්නේ. නමුත් කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශ වල ජීවත් වෙන අයට හදිසියේ ලැබෙන නිවාඩුවකට හෝ සති අන්තයකට නුවර එළි ගොස් නිදහසේ ආපහු එන එක ටිකක් අපහසු දෙයක්. ඉතින් කොළඹ අයට ඉක්මනින් ගිහින්, නුවර එළියට සමාන සුන්දරත්වයක් දැකබලාගෙන, නිදහසේ එන්න පුලුවන් තැනක් ගැන ලියන්න හිතුවා. ඒ තමයි අවිස්සාවේල්ල, සීතාවක තෙත් කලාපීය උද්භිත උද්‍යානය.

ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන පහට අලුතින්ම එකතු වුණ උද්භිත උද්‍යානය තමයි මේ. මේ උද්‍යානය මහජනතාවට නැරඹීමට විවෘත වුණේ 2014 වසරේ අග භාගයේදී. පිහිටලා තියෙන්නේ අවිස්සාවේල්ලේ ඉදිකඩ මූකලාන වන රක්ෂිතයට යාබදව. කොළඹ සිට පෞද්ගලික වාහනයක පැමිණෙනවානම්, ධාවනය සඳහා ආසන්න වශයෙන් පැයක් හෝ ඊට මදක් වැඩි කාලයක් ගත වෙනවා.

මේ තෙත් කලාපීය උද්භිද උද්‍යානය අක්කර 79 ක් එහෙම නැතිනම් හෙක්ටයාර 32 ක භූමි ප්‍රදේශයක් ආවරණය කරනවා. ඒ වගේම සිසිල් සහ සෞම්‍ය දේශගුණයක් තමයි මෙහි තිබෙන්නේ. උද්‍යානය හරහා ගලා යන දිය පහරක් තිබෙන නිසා තෙත් කලාපීය ශාක හොඳින් පෝෂණය වෙනවා. අනාගතයේදී උද්‍යානය අක්කර 105 ක් දක්වා පුළුල් කිරීමට බලධාරීන් බලාපොරොත්තු වෙනවා.

මේ උද්‍යානය මහජනයාට විවෘත කිරීමට ප්‍රධානතම හේතුව තමයි, දේශීය මෙන්ම විදේශීය අමුත්තන්ට නව අත්දැකීමක් ලබාදීම. ඊට අමතරව මේ උද්භිද උද්‍යානය රත්නපුර - සිංහරාජ කලාපයේ දක්නට ලැබෙන ආවේණික හා තර්ජනයට ලක් වූ ශාක සංරක්ෂණය කිරීමේ අරමුණ සදහාත් යොදාගන්නවා. තවත් විශේෂත්වයක් තමයි, උණ බම්බු වගාව ප්‍රවර්ධනය කිරීම සහ තෙත්, පහත් බිම් පැලෑටි සඳහා සංරක්ෂණ භූමියක් ලෙස කටයුතු කිරීම. උද්‍යාන විද්‍යාවට සම්බන්ධ පුද්ගලයින් සඳහා පුහුණු වැඩසටහන් සහ පර්යේෂණ සහ උපාධි අපේක්ෂකයින් සඳහා පර්යේෂණ අවස්ථා සඳහා පහසුකම් සැලසීම ද මෙහි දී සිදු කෙරෙනවා.

ඔබට උද්‍යානය වටා පහසුවෙන් ගමන් කළ හැකි වන පරිදි මාර්ග, ගල් අතුරා නිමවා තිබෙනවා. ඒ වගේම මාර්ගය අනුගමනය කිරීම සඳහා තොරතුරු සිතියම් සහ පුවරු සපයා තිබෙනවා. උද්‍යානය ඡායාරූප සදහා අලංකාර වටපිටාවක් සපයන අතර බොහෝ ගස්, නාම පුවරු වලින් සමන්විත වන නිසා කුඩා දරුවන්ට දැනුම වර්ධනය කරගන්නත් අවස්ථාවක් ලබා දෙනවා. නරඹන්නන්ගේ රිවීව්ස් වලට අනුව, තෙත් කලාපීය උද්‍යානයේ වඩාත් දර්ශනීය ස්ථානය වන්නේ කුම්බුක් ගස් සහිත විශාල තණකොළ පෙදෙස සහ කුඩා විල් ප්‍රදේශයයි. නගරයේ කඩිමුඩියේ සිට නිහඬව විනෝද වීමට සුදුසුම තැනක් ලෙස හදුන්වන්න පුළුවන්.

ඉතින් නිවාඩු වෙලාවක පවුලේ සියලු දෙනා එක්ක අවිස්සාවේල්ල, සීතවක උද්භිත උද්‍යානය නරඹන්න කියලා යෝජනා කරනවා. විශේෂයෙන්ම මේ පාසල් නිවාඩු කලයේ. ඒ වගේම එහි යන නරඹනන්ගෙන් පුංචි ඉල්ලුමක් තිබෙනවා. උද්භිත උද්‍යානය අපිරිසිදු නොකර, තවත් කෙනෙකුට සුන්දරත්වය විදින්න හැකි විදිහට තබාගමු.

 

 

 

 

 

 

 

by Nimanthi Muthukudaarachchi

views

1108 Views

Comments

arrow-up