රාජාංගනයේ දානෙ ගෙදරට ගිය 12 හැවිරිදි දරුවෙකුට කොරෝනා..
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
17

රාජාංගනයේ දානෙ ගෙදරට ගිය 12 හැවිරිදි දරුවෙකුට කොරෝනා..

රාජාංගනයේ දානෙ ගෙදරට ගිය 12 හැවිරිදි දරුවෙකුට කොරෝනා..

රාජාංගනය ප්‍රදේශයේ දානමය පිංකමට සහභාගී වූ පුද්ගලයින් අතරින්  වයස අවුරුදු 12 ක දරුවෙකුට පමණක් Covid -19 ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබේ.

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  පැවසුවේ, රාජාංගනයේ දානමය පිංකමට සහභාගී වූ 139 දෙනෙකු PCR පරීක්ෂණවලට භාජනය කිරීමෙන් පසු අදාළ දරුවා පමණක් ආසාදිතයෙකු ලෙස හඳුනා ගත් බවයි.

 

ඒ අනුව ඉතිරි 138 දෙනාම  කොරෝනා ආසාදිතයින් නොවන බව තහවුරු වී ඇත.

 

තවදුරටත් දිවයිනේ විවිධ ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් PCR පරීක්ෂණ සිදු කෙරෙන බවත් කොළඹ මහනගර සභා බල ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ  PCR පරීක්ෂණ  174 කින්ම කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවුණ බවත්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, කන්දකාඩු පොකුර මේ වන විට පාලන වෙමින් පවතින තත්ත්වයකට පැමිණ ඇති බවයි.

 

මේ අතර කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට ගිය අමුත්තන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බව PCR පරීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පෙරවරුවේ පැවසී ය.

 

තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු අද සුවය ලැබීමත් සමග පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 2012ක් දක්වා ඉහළ ගියේ ය.

 

අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇත්තේ, රාජාංගනයේ 12 හැවිරිදි දරුවා පමණි.

 

views

748 Views

Comments

arrow-up