රැකියාවට යන මවක් දරුවට මව්කිරි දෙන්නේ කොහොමද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
24

රැකියාවට යන මවක් දරුවට මව්කිරි දෙන්නේ කොහොමද?

රැකියාවට යන මවක් දරුවට මව්කිරි දෙන්නේ කොහොමද?

මෙලොව එළිය දුටු මොහොතේ සිටම කිරිකැටියා වැඩෙන්නේ මවක සෙනෙහසින් තම දරුවාට ලබා දෙන මව්කිරි තුළිනි. එය දරුවාට දිව්යමය ඖෂධයකි. අළුත උපන් දරුවා දමා මවක රැකියාවට යාම ඉතාමත්ම අසීරු කරුණක්. මේ වේදනීය අත්දැකීම විඳි බොහෝමයක් මව්වරුන් ඒ බව දනිති. අද අපි මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ රැකියාවට යන මවක් තම දරුවාට මව්කිරි ලබා දීම සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

 

බොහෝ මව්වරුන් මේ අවධියේදී දරුවා පිටිකිරි වලට හුරු කළද එය මවක විසින් සිදු කරන අනුවණ ක්රියාවකි. දරුවකුගේ නිසි මානසික හා කායික වර්ධනයට ප්රධානතම හේතුව වන මව්කිරි නොදීමෙන් දරුවාගේ නීරෝගී බව බලාපොරොත්තු නොවිය හැකි දෙයක්. එනිසා තම දරුවාට පිටි කිරි නොදී මව්කිරි ලබා දීමට රැකියාව කිසිවිටෙකත් බාධාවක් කර නොගන්න. නමුත් එසේ කිරීමට නම් මවක විසින් නිවැරදි වූ ක්රියාමාර්ගයන් අනුගමනය කළ යුතුයි. මේ පිළිබඳව ඔබේ පවුල් සෞඛ්ය සේවා නිලධාරිනියගේ සහයද ලබා ගැනීමට හැකි අතර ඔවුන් ඔබට අවශ්ය සියළු උපදෙස් ලබා දෙනු ඇත.

 

රැකියාවකට යන මවක් නිවෙසින් බැහැරව සිටීමේදී දරුවා වෙනුවෙන් මව්කිරි දොවා තැබිය යුතු අතර දරුවා මාස 04 ක් පසුකළ පසුවම අර්ධ ඝන ආහාර වලට කෙමෙන් කෙමෙන් හුරු කළ යුතුයි. එසේම දොවා තබා යන මව්කිරි සුදුසු වූ නිශ්චිත උෂ්ණත්වයක තබා ගැනීම අත්යවශ්යයි.

 

 

දොවා ගත් මව්කිරි ගබඩා කරන්නේ කෙසේද ?

 

කාමර උෂ්ණත්වයෙහි නම් පැය 06 ක කාලයක්ද , ශීතකරණයෙහි මධ්ය කොටසෙහි පැය 24 ක කාලයක්ද , අධි ශීතකරණයෙහි එසේත් නැත්නම් අයිස් මිදෙන කොටසෙහි මාස 03 ක් දක්වා කාලයක් කල්තබා ගැනීමේ හැකියාව ඇත. දොවා තබා ගිය මව්කිරි නිවැරදිව කල්තබා ගැනීම මෙන්ම දරුවාට අවශ්ය මොහොතේ එය ලබා දීම පිළිබඳව දරුවා රැකබලා ගන්නා අයට හොඳ අවබෝධයක් තිබීම අත්යවශ්යයි. එහිදී ශීතකරණයෙන් ඉවතට ගත් කිරි ටික මද උණුසුම් ජලය භාජනයක ගිල්වා දරුවාට පානය කළ හැකි ප්රමාණයට රත් කර ගත යුතුයි. කිසිම විටෙක මව්කිරි ලිප තබා රත් කිරීම නොකළ යුතුයි. එයින් මව්කිරි වල ඇති පෝෂ්ය කොටස් නැති වේ. එසේම දරුවාට එක් වේලකට අවශ්ය වූ කිරි ප්රමාණය පමණක් වෙන වෙනම දොවා භාජන වලට දමා ගබඩා කර තැබිය යුතු අතර වරක් පොවා ඉතිරි වූ කිරි නැවතත් ශීතකරණයේ තබා දරුවාට පෙවීම කිසිසේත් නොකළ යුතු බව මතක තබා ගන්න.

 

 

දොවාගත් කිරි කිසිවිටෙකත් සූප්පු බෝතල් භාවිතයෙන් දරුවාට ලබා නොදිය යුතුයි. මන්ද , දරුවා පහසුවෙන්ම බෝතලයෙන් කිරි උරා බීමෙන් ඉතා පහසුවෙන් කිරි එකවර මුව තුළට ඒමෙන්ද , මවගේ පියයුරෙන් එසේ කිරි නොඒම නිසා දරුවා සූප්පුවට ඉතා ඉක්මනින් හුරු වෙයි. එයින් මවගෙන් කිරි උරා බීම අත්හැරීමටද ඉඩ කඩ ඇත. එනිසා සෑම විටකම, දරුවාට දොවා ගත් කිරි ලබාදීම සඳහා පිරිසිදු සුදු වානේ හැන්දක් හා කෝප්පයක් භාවිතා කළ යුතු වනවා. සෑම විටම මේ භාජන පිරිසිදුව තබා ගැනීම කළ යුතු අතර නටන උණුවතුරින් තම්බා වියළා ගබඩා කළ යුතු වේ. අමතර ආහාර ලබා දෙන විටදී පවා දියරමය ආහාර වර්ග හැන්දෙන් පෙවීම ඉතාමත් වැදගත්.


 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

1875 Views

Comments

arrow-up