ආඝාත අවදානම හෙවත් stroke කලින්ම හදුනාගනිමු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
16

ආඝාත අවදානම හෙවත් stroke කලින්ම හදුනාගනිමු

ආඝාත අවදානම හෙවත් stroke කලින්ම හදුනාගනිමු

අයෝමි හා ඇයගේ සැමියා සාදයකට සහභාගි වුණා. මේ සාදය අතරතුරේදී එක් වරම ඇය ඇදගෙන වැටුණා. හැමෝම කලබල වෙලා ඇයව ඔසවා පුටුවකින් වාඩිකරමින් ඇගෙන් වුණ දේ විමසුවා. එහෙත් ඇය පැවසුවේ පය පැටලී වැටුණු බවත් කිසිම ගැටළුවක් නැති බවත්ය. සාදයේ ඉතිරි කාලයත් ඇය සාමාන්‍ය ලෙස ගෙවා දැමුවේය.

එදින සන්ධ්‍යාවේ අයෝමිගේ සැමියා දුරකථන ඇමතුමක් ලබා දී පැවසුවේ අයෝමි රෝහල වෙත රැගෙන ගිය බවයි. සවස 6.00 වන විට ඇය මෙලොවින් සමුගත්තා.

මෙම සිදුවීම තුළින් අනාවරණය වූයේ ඇයට එක් වරම ආඝාත තත්වයක් ( stroke ) ඇති වී ඇති බවයි. මුලදීම එය හදුනාගත්තා නම් ඇය සමහර විට තවත් ජීවත් වනු ඇති. මෙසේ ආඝාත තත්වයට ගොදුරු වූවෙකු මරණයටත් නැත්නම් සදාකාලිකව අසරණ වූ තත්වයටත් පත් විය හැකියි.

ස්නායු පිළිබඳව වෛද්‍යවරුන් පවසන ආකාරයට ආඝාතයට පත්වන රෝගියෙකු කලින්ම හදුනාගතහොත් අපහසු වුවත් අවධානම් තත්වය යටතේම පැය තුනක් අතර තුර බෙහෙත් කර සුවයක් ලබා දීමට උත්සහ කළ හැකි බවයි.

 

  •  ආඝාතය යනු කුමන රෝගී තත්වයක්ද?


මොළයට නිසියාකාරව ලේ ගමනාගමනය සඳහා සහය ලබා දෙන්නෙ ධමනි මගිනි. ඒ හරහා මොළයට අවශ්‍ය ලේ සැපයුම, පෝෂණය මෙන්ම ඔක්සිජන් ලබා දෙයි. ආඝාත තත්වයක් ඇති වූ පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් ඇති වන්නේ මෙම ධමනි හිරවීමක් හෝ පුපුරා යාමකදීයි. එහිදී මොළයෙහි පැත්තක් නිසියාකාරව ක්‍රියා නොකිරීමෙන් මොළයට ලේ ගලායාම අවහිර වී එම කොටස මිය යාමට පටන් ගැනීමයි.

- ධමනි හිරවීම්

මෙම හිරවීම ලේ කැටියක් හෝ ධමනි බිත්තිවල ඇති වූ මේද කැටියක් නිසාද සිදුවිය හැකියි.
එයින් මොළයට ගමන් කරන ලේ අඩුවීම සිදු කරයි.

- කැටියක් දිය වීම

සමහර අවස්ථාවන්වලදී අස්ථීර ඉෂ්මික ප්‍රහාරයක් ( Transient Ischemic Attack / TIA ) ඇති විය හැකියි. මෙයත් අප මුලින් සඳහන් කළ ආකාරයට ලේ හෝ මේද කැටිය හිරවී ටික වේලාවකින් එය දියවී යාමක් සිදුවේ. එවිට තාවකාලිකව ආඝාත තත්වයක් ඇති වී පසුව ලේ ගමනාගමනය නැවතත් ස්ථාවර මට්ටමකට පැමිණේ. එහෙත් එසේ නොවන අවස්ථාවලදී වහාම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කළ යුතුයි.

මෙය තාවකාලිකව සිදු වූවත් එයින් හඟවන්නේ මීළඟ ප්‍රහාරය ඉතා දරුණු විය හැකි බවයි. යම් යම් අවස්ථාවලදී රුධිරයේ නාල හිරවීමෙන් එම නාල පිපිරීම හා බිබුලක් වැනි දෙයක් ධමනිය පිටතින් සෑදී පිපිරීමෙන් තත්වය ඉතා දරුණු විය හැකියි.

 


මෙසේ ආඝාත තත්වයක් ඇති වූ අයෙකුගේ රෝග ලක්ෂණ වන්නේ,

 

  •  මුහුණේ හෝ ශරීරයේ පැත්තක් පණ නැතිවී යාම,හිරි වැටීම. මෙය අතක් හෝ කකුලක්ද විය හැකියි
  •  ඇස් දෙකම හෝ එකක් නොපෙනී යාම ( බොඳ වීමක් වැනි ආකාරයට )
  •  රෝගියා කථාකරන වචන අන් අයට පැහැදිලි නොවීම
  •  ශරීරයේ සමබරතාවය බිදී යාම
  •  කිසිදු හේතුවක් හෝ රෝගයක් නොමැතිවම දරාගත නොහැකි හිසරදයක් ඇති වීම


> මෙම ආඝාත තත්වය පුද්ගලයන්ට බලපාන ආකාරය,

පුද්ගලයෙකුගේ වම් පැත්තේ ඇතිවන ආඝාතය ඔහුගේ හෝ ඇයගේ බලපෑමක් ඇති කරනුයේ දකුණු පැත්තටයි. එමගින් කථන හැකියාව අපැහැදිලි වීම, කියවීමට නොහැකි වීම වැනි රෝග ලක්ෂණ මතු වන අතර, දකුණු පැත්තේ ඇතිවන ආඝාත තත්වය වම් පැත්තට බලපෑමක් එල්ල කරයි.
උඩ , පහළ යන විධානයන් හදුනා ගත නොහැකි වීම මෙන්ම යමෙකුගේ කටහඬ හා හැගීම් ප්‍රකාශණය නිසියාකාරව හදුනාගැනීම හා අවබෝධ කර ගත නොහැකිවීම සිදු වෙනවා.

 


> ආඝාතය ඇති වීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග,

සාමාන්‍යයෙන් එක් වරක් මෙය ඇතිවූ අයෙකුට එය නැවත වාරයක් සෑදීමට ඇති ඉඩකඩ ඉතා වැඩියි. එහිදී මෙම ක්‍රියාමාර්ග කිරීමෙන් එය නැවතත් ඇතිවීම වළක්වා ගත හැකි වේ.

 

  •  අධි රුධිර පීඩනය ඇති අයෙකු නම් හැකිතාක් දුරට වෛද්‍ය සහය ඇතුව පාලනය කර අඩු කර ගැනීම.
  •  අසාමාන්‍ය ආකාරයේ හෘදයේ ගැස්ම ඇත්නම් එය ගැන සැලකිලිමත් වීම.
  •  දුම්පානය කරන අයෙකු නම් එය නැවැත්වීම
  •  මත්පැන් භාවිතය අවම කිරීම හෝ හැකිනම් නැවැත්වීම.
  •  කොලෙස්ටරෝල් ඇති අයෙකු නම් එය හැකිතරම් දුරට අඩුකර පාලනය කිරීම.
  •  අධික රුධිර පීඩනය ඇති අයෙකු නම් , ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව පාලනය කරගන්න.
  •  දිනපතා ව්‍යායාම කිරීම - හැකි පමණින් මෙය කළ යුතුයි ( ඇවිදීම, පිහිනීම වැනි දෑ )
  •  අධික ලෙස සෝඩියම් හා මේදය අඩංගු ආහාර හැකිතාක් දුරට අවම කිරීම.


අප ඔබට පෙර සඳහන් කළ ආකාරයේ රෝග ලක්ෂණ ඔබට හෝ ඔබේ හිත මිත්‍රාදීන්ට ඇති වන්නේ නම් වහාම ක්‍රියා කරමින් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වන්න.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

615 Views

Comments

arrow-up