ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය ඉහළ නැංවීමට අවබෝධතා ගිවිසුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය ඉහළ නැංවීමට අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය ඉහළ නැංවීමට අවබෝධතා ගිවිසුමක්

ජපන් රජය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ස්තූතිය පළ කළ අතර පසුගිය 30 වන දින අත්සන් කරන්නට යෙදුන  (JDS) මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය පිළිබඳ අවබෝධතා ගිවිසුම (MOU) ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ තවත් සන්ධිස්ථානයක් බව පැවසීය. 

 

මෙම අවබෝධතා ගිවිසුමට ජපාන තානාපති මිෂුකොෂි හිදේකි (Mizukoshi Hideaki) සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින්  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මෙරට සංචාරයක නිරත ජපන් විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි (Yoshimasa Hayashi) මහතා ඉදිරියේ 29 වන දින  අරලියගහ මන්දිරයේ දී අත්සන් කරන ලදී. 

 

ජපාන රජය විසින් සම සභාපතිත්වය දරන සහ ඉන්දියාව, ප්‍රංශය සහ අනෙකුත් පරිත්‍යාගශීලී රටවල සහාය ඇතිව පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතා ජපාන විදේශ අමාත්‍යවරයා සමඟ මෙහිදී සාකච්ඡා කළේය. 

 

යෝජිත සැහැල්ලු දුම්රිය ප්‍රවාහන  (LRT) ව්‍යාපෘතිය අත්හිටුවීමේදී පසුගිය වකවානුවේ වැරැද්දක් කළ බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා, ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරන ලෙස ජපානයෙන් ඉල්ලා සිටි අතර එය පෞද්ගලික සහ රාජ්‍ය හවුල්  (PPP) ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට සලකා බැලීමට විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි එකඟ විය. 

 

දෙරට විසින් අත්සන් කරන ලද JDS මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය පිළිබඳ අවබෝධතා ගිවිසුම යටතේ ජපානය ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයින්ට සහ  විද්වතුන්ට ජපානයේ උසස් අධ්‍යාපනය සඳහා අමතර ශිෂ්‍යත්ව ලබා දෙනු ඇත. මෙම වැඩසටහන 2025 දක්වා ක්‍රියාත්මක වන අතර මේ වසරේ මෙම ශිෂ්‍යත්ව සඳහා රුපියල් මිලියන 611 ක මුදලක් ජපානය විසින් වෙන් කර තිබේ. 

 

විදේශ කටයුතු අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා (Yoshimasa Hayashi) ප්‍රධාන දූත පිරිසක්ද,  ජාත්‍යන්තර සහයෝගීතා පිලිබඳ අධ්‍යක්ෂ ජනරාල් කසුයා එන්ඩෝ (Kazuya Endo),  අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යුටාකා අරීමා (Yutaka Arima), නිරිතදිග ආසියානු කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ ටාරෝ ත්තුත්සමී (Taro Tstutsami), ජ්‍යෙෂ්ඨ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධීකාරක මනාබු මුරකාමි( Manabu Murakami),  විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන  අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක යන මහත්වරු  එක්ව සිටියහ.

 

views

359 Views

Comments

arrow-up