කොරියාවත් ජපානයත් අයිතිවාසිකම් කියන සුන්දර දූපත
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

කොරියාවත් ජපානයත් අයිතිවාසිකම් කියන සුන්දර දූපත

කොරියාවත් ජපානයත් අයිතිවාසිකම් කියන සුන්දර දූපත

දොක්දෝ යනු කොරියාවට නැඟෙනහිරින්, පැසිෆික් සාගරයේ පිහිටි කුඩා ගිනි කඳුවලින් නිර්මිත දූපතකි. බිම්කඩින් වර්ගමීටර් 187,554 ක් පමණ වන අතර, සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 13 ක් පමණ වේ.

 

ගිනි කඳු 2 කින් සෑදී ඇති මේ දූපත විවිධාකාර සතුන් සහ ශාක වර්ග සඳහා නිවහනක් වී තිබේ. මෑතක් වන තුරුම මේ භූමියේ අයිතිය පිළිබඳව විවිධ ආන්දෝලනාත්මක මත ඇති වී තිබූ නමුත් දොක්දෝ යනු කොරියානු භූමියක් බව ඓතිහාසික මූලාශ්‍ර මඟින් සනාථ කර ගත හැකි වේ.

 

මේ දූපත බිම් වපසරියෙන් කුඩා වුවත් විවිධ ජීවීන්ගෙන් බොහෝ පොහොසත්ය. සෑම ඍතුවක් පාසාම මේ පිළිබඳව විමර්ශනයක් සිදු කර ඇති අතර, මෑත වාර්තාවලට අනුව කුරුල්ලන් විශේෂ 129 ක්, ශාක විශේෂ 59 ක්, කෘමීන් විශේෂ 17 ක්, සමනලුන් විශේෂ 17 ක්, රැහැයියන් විශේෂ 10 ක් සහ බඹර විශේෂ 9 කට පමණ මේ දූපත වාසස්ථාන සපයයි.

 

තවද Aster නම් ශාක විශේෂය මේ දූපතට ආවේණික වේ. එය සුවඳැති දම් පැහැති මලක් වන අතර, මලේ තේරුම වන්නේ පිරිසුදු ආදරය නැති නම් බලා සිටීම යන්නයි.

 

මේ දූපත ගැන පවසන විට Black – tailed gull ගැන සඳහන් නොකර බැරි තරම්ය. පක්ෂීන් විශේෂයක් වන මේ Black – tailed gull දොක්දෝ දූපත තම රාජධානිය කරගෙන ජීවත් වෙති. මේ පක්ෂීන් කොරියාවට සහ ජපානයට පමණක් ආවේණික වේ. මොවුන්ට අනෙක් පක්ෂීන්ට වඩා විශේෂ ගතිගුණ පිහිටා ඇත. මේ පක්ෂියා සහකරුවකු මුණගැසුණු පසු ජීවිතයේ අවසානය දක්වාම එම සහකරු සමඟ ජීවත් වේ.

 

මීට අවුරුදු 100 කට පමණ පෙර මේ දූපතට වෙනම අයිතිකරුවකු සිට ඇත. එම අයිතිකරු වර්තමානයේ දක්නට නොලැබෙන මුහුදු සිංහ වර්ගයක් වන දොක්දෝ මුහුදු සිංහයා (Gangchi) ලෙස හඳුන්වයි. 1935 ජපන් යටත්විජිත සමයේ ජපන් ධීවරයන් විසින් දොක්දෝ මුහුදු සිංහයන් අල්ලාගෙන යෑම හේතුවෙන් මේ සුන්දර සතුන් ලෝකයෙන් වඳ වී ගොස් ඇත.

 

දොක්දෝ දූපත ජීවීන් පමණක් නොව ඛනිජ සම්පත්වලින් ද සමන්විතය. දොක්දෝ මුහුදු පත්ලේ දැවෙන අයිස් හෙවත් methane hydrate ටොන් මිලියන 600 ක් පමණ වැළලී ඇති බව අනාවරණය වී ඇත. මෙය අනාගතයේ ඉන්ධන ලෙස සංවර්ධිත රටවල් භාවිත කිරීමට නියමිතය.

 

දොක්දෝ යනු ගොඩබිම පමණක් නොව, මුහුදු පත්ලේ පිහිටි වෙනත් ලෝකයක් සහ පාරාදීසයකි. මේ වන විට මුහුදු පැළෑටි වර්ග 160 ක්, මත්ස්‍ය විශේෂ 180 ක් හඳුනාගෙන ඇති අතර, සාගර උෂ්ණත්වයේ වෙනස්වීම් අනුව එය ද වෙනස් වේ. වසන්ත කාලයේදී මත්ස්‍ය විශේෂ 15 ක් පමණ දැකගත හැකි අතර, ගිම්හාන සහ සරත් ඍතුවේදී එම සංඛ්‍යාව විශේෂ 60 කින් පමණ වැඩිවේ.

 

views

350 Views

Comments

arrow-up