මෙරට ආර්ය ජනාවාස ව්‍යාප්තිය ගැන දැනුවත් වෙමු

මෙරට ආර්ය ජනාවාස පිහිටුවීම එකවර සිදු වූ සිද්ධියක් නොවේ. ජනාවාස ගොඩනැගීම සහ ව්‍යාප්තිය වරින් වර පැමිණි ඉන්දීය සංක්‍රමණික කණ්ඩායම් නිසා සිදුවූවක් බව වංශ කථාවල සඳහන් තොරතුරුවලින් පැහැදිලි වේ. ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ සිට වරින් වර ඉන්දියාවේ සිට මෙරටට පැමිණි සංක්‍රමණික කණ්ඩායම් කිහිපයක් ගැන වංශකථා වල සඳහන්. විජය කුමරු ඇතුළු පිරිස, විජය කුමරුගේ මෙහෙසිය ලෙස මධුරා පුරයෙන් ගෙන්වා ගත් කුමරිය ඇතුළු පිරිස, පඬුවස්දෙව් ඇතුළු පිරිස, භද්දකච්චානා ඇතුළු පිරිස සහ ඇගේ සොහොයුරන් ඇතුළු පිරිස මෙම ජනාවාස ආරම්භය සහ ව්‍යාප්තිය කෙරෙහි බලපෑ ප්‍රධාන ජන සංක්‍රමණ ලෙස හැඳින්විය හැකියි. මෙම පිරිස් ලංකාවේ වයඹ දිග සහ නැගෙනහිර වෙරළේ පිහිටි තොටුපොළ වලට ගොඩ බට අතර ස්ථීර පදිංචිය සඳහා තෝරා ගත්තේ වියළි කලාපයට අයත් ගංගා ආශ්‍රිත ප්‍රදේශයන් ය. ඊට හේතුව ඔවුන්ට සුපුරුදු ජීවනෝපාය වූ කෘෂිකර්මය කරගෙන යාමට අවශ්‍ය භෞතික සාධක එම ප්‍රදේශවල තිබීමයි.
තැනිතලා බිම් සරු පස ජල පහසුව ගොවිතැනට හිතකර දේශගුණය වැනි සාධක කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වූ බැවින් මෙම ප්‍රදේශ ජනාවාස සඳහා සුදුසු ප්‍රදේශ ලෙස තෝරාගෙන තිබේ. විජය ඇතුළු පිරිස ලංකාවේ වයඹ දිග වෙරළට ගොඩබට බැවින් ඔවුන්ගේ ජනාවාස කදම්බ නදී, ගම්භීර නදී සහ ගෝණ නදී ආශ්‍රිතව ආරම්භ විය. මහාවංශයට අනුව විජය කුමරු තම්බපණ්ණි ජනාවාසය ද, අනුරාධ ඇමති විසින් අනුරාධ ග්‍රාමය ද, උපතිස්ස ඇමති විසින් උපතිස්ස ග්‍රාමය ද පිහිටුවා ගනු ලැබීය. උදේනි, උරුවේල සහ අනෙක් ඇමැතිවරු ද තම නම්වලින් ගම් ඉදිකළහ. මෙම ජනපද සියල්ල මල්වතු ඔය සහ කලා ඔය අසබඩ පිහිටුවන ලදී.
ඉන්පසු විජය කුමරුගේ මෙහෙසිය ලෙස මධුරා පුරයෙන් ගෙන්වා ගත් කුමරිය ඇතුළු පිරිසක් ද මෙහි පැමිණ පදිංචි වී ඇත. පඩුවස්දෙව් රජුගේ මෙහෙසිය බවට පත් වූ භද්දකච්චානා කුමරිය ඇතුළු පිරිස ලංකාවට ගොඩබැස්සේ ලංකාවේ නැගෙනහිර වෙරළේ පිහිටි ත්‍රිකුණාමල වරායෙනි. ඇයගේ සහෝදර පිරිසද එම වරායෙන් ම ලංකාවට ගොඩ බැස ඇත. මෙම කුමාරවරුන් විජිත ගාම, රාමගෝණ, දීඝගාම, රෝහණ යන ජනපද ලංකාවේ නැගෙනහිර සහ ගිණිකොණ දෙසට වනසේ පිහිටුවාගෙන ඇත. බටහිර ප්‍රදේශයේ කැලණි ගඟ අසබඩ කල්‍යාණි නමින් ජනපදයක්ද බිහිවිය. ගිණිකොන ප්‍රදේශයේ කරින්ද නදී අසබඩ මහාගාම නමින් ජනපදයක් ද, කප්පකන්දර නදිය ආශ්‍රිතව කාචරගාම ආදියද බිහි විය. මුල් ජනපද ගංගා නිම්න ආශ්‍රිතව බිහි වුවත් ජනගහනයේ වර්ධනයත් සමඟ ජනපද රට අභ්‍යන්තරයට ව්‍යාප්ත වී ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
5157 Views
Comments