සේවරි චීස් කේක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
19

සේවරි චීස් කේක්

සේවරි චීස් කේක්

හදමුද රසම රස චීස් කේක් එකක්? චීස් කිව්වට චීස් විතරක්ම නෙමේ, මේකට මාළු ටිකකුත් දානවා අපි. මේක හදන්න ගොඩක් දේවල් ඕන වගේ පෙනුනට බයවෙන්න එපා. ගන්න කියලා තියෙන ඔක්කොම දේවල් ඔයාලට සුපර් මාකට් එකකින් ගන්න පුලුවන් ලේසියෙන්ම.

 

කේක් ක්‍රස්ට් එක සඳහා අවශ්‍ය දේවල් :

 

  • පාන් කුඩු 125g
  • ග්‍රේට් කර ගත් පාමසන් චීස් 75
  • දිය කර ගත් බටර් මේස හැදි 6 - 7ක්

 

කේක් මිශ්‍රණය සඳහා අවශ්‍ය දේවල් :

 

  • ඔලිව් තෙල් මේස හැදි 1 - 2 ක්
  • චොප් කර ගත් රට ලූණු ගෙඩි 1
  • චොප් කර ගත් රතු බෙල් පෙපර් කප් ½
  • චොප් කර ගත් කහ බෙල් පෙපර් කප් ½
  • අඹරා ගත් සුදුලූණු මේස හැදි 1 ක් පමණ
  • ක්‍රීම් චීස් 450g
  • ග්‍රේට් කර ගත් ගවුඩා චීස් 200g
  • බිත්තර 4
  • ෆ්‍රෙෂ් ක්‍රීම් 100ml
  • තම්බා පොඩි කර ගත් මාළු 350g
  • තම්බා පොඩි කර ගත් අර්තාපල් 150g
  • චොප් කර ගත් පාස්ලි කොළ 50g
  • දෙහි යුෂ රස අනුව
  • ලුණු රස අනුව
  • ගම්මිරිස් කුඩු රස අනුව

 

සාදා ගන්නා ආකාරය :

 

මුලින්ම භාජනයකට පාන් කුඩු ටිකයි, ග්‍රේට් කරපු පාමසන් චීස් ටිකයි, දිය කරපු බටර් ටිකයි දාලා හොදට කලවම් කර ගන්න. ඊට පස්සේ තෙල් කඩදාසියක් පතුලට දා ගත්ත කේක් ටින් එකකට කලවම් කර ගත්ත මිශ්‍රණය දා ගෙන එක ගානට ඝනකම හිටින විදියට අතින් තද කරලා ක්‍රස්ට් එක හදා ගන්න. පස්සේ පෑන් එකක් සාමන්‍ය ගින්දරේ ලිපේ තියලා ඔලිව් තෙල් දා ගෙන රත් වෙන්න තියන්න. තෙල් රත් වුණාට පස්සේ රට ලූණුයි, බෙල් පෙපරුයි දා ගෙන විනාඩි 2 - 3ක් විතර තෙම්පරාදු කර ගන්න. පස්සේ ගින්දර අඩු කරලා ඒකටම සුදුලූණු ටිකත් එකතු කරලා තවත් තප්පර 30 ක් වගේ තෙම්පරාදු කර ගෙන ලිපේන් බාලා නිවෙන්න තියන්න. ඊළඟට බ්ලෙන්ඩර් එකක් අර ගෙන ඒකට ක්‍රීම් චීස් දාලා අඩුම වේගෙන් මෘදු වෙනකන් ටික වෙලාවක් බ්ලෙන්ඩර් කර ගන්න. පස්සේ සැරයකට එක බිත්තරය ගානේ ක්‍රීම් චිස් මිශ්‍රණය එකතු කරලා බ්ලෙන්ඩර් කරන ගමන් බිත්තර 4ම දාලා හොදට බ්ලෙන්ඩර් කර ගන්න. දැන් ඒකටම ෆ්‍රෙෂ් ක්‍රීම් ටිකත් එකතු කරලා ටිකක් බ්ලෙන්ඩර් කර ගන්න. දැන් ටිකක් ලොකු භාජනයක් අරන් ඒකටම් තම්බපු මාළුත් එක්ක තම්බපු අල දාලා හොදට කලවම් කර ගන්න. ඊට පස්සේ ඒකටම තෙම්පරාදු කර ගත්ත මිශ්‍රණයි, චොප් කරපු පාස්ලි කොළයි, ග්‍රේට් කරපු ගවුඩා චීසුයි දාලා හොදට කලවම් කර ගන්න ඕනේ. ඊළඟට මිශ්‍රණයට රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු, දෙහි යුෂ එකතු කරලා හොදට කලවම් කර ගන්න. පස්සේ ඒකටම බ්ලෙන්ඩර් කර ගත්ත බිත්තර ක්‍රීම් චීස් මිශ්‍රණය කලවම් කර ගෙන කලින් බිස්කඩ් කුඩු මිශ්‍රණය අතුර ගත්තු කේක් ටින් එකට මිශ්‍රණය දා ගන්න. අන්තිමට කලින් 175°C උෂ්ණත්වයට රත් කර ගත්ත අවන් එකක පැය 1 විනාඩි 15ක් වගේ බේක් කර ගෙන උණුවෙනම රස බලන්න.

 

 

 

 

 

 

 

 

 

By : Dilki Shamani

Photo Source : Internet

views

559 Views

Comments

arrow-up